තව්හීඩ් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරී 02ක් රඳවා ප්‍රශ්න කරන්න අවසර

55

බුද්ධි තොරතුරකට අනුව කොටහේන පොලිස් වසම තුළ පිහිටි මහල් නිවාසයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනා ලබන 02 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දුන්නේය.

කොටහේන පොලීසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් අද(30) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙනිය මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබුවේය.

පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ සැකකරුවන් රැඳී සිටි නිවසේ තිබී ඉස්ලාමීය අන්තවාදී අදහස් අඩංගු ලිපි ද්‍රව්‍ය CD, දුරකථන උපාංග සහ ලැප්ටොප් දුරකථන ආදිය අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය ඇති හෙයින් සැකකරුවන් පොලීසිය බාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන මෙන් කොටහේන පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් ලබන 02 වනදා දක්වා පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදුන්නේය.