පොලිස්පතිට අසාධාරණයක් වෙලා

Share

වෙන වෙන අඩුපාඩු තිබුණත් රටේ මේ වන විට ඇතිව තිබෙන ආරක්ෂක වැඩ පිළිවෙල සම්බන්ධයෙන් වු ප්‍රශ්නයෙන් ගැල වීම සඳහා පොලිස්පති හා ආරක්ෂක ලේකම් බිල්ලට දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ‍ෆොන්සේකා මහතා පවසයි.

සරත් ෆොන්සේකා මහතා  ඊයේ(01) පස්වරුවේ මහනුවර අස්ගිරි මල්වතු මහනායක හිමිපාණන් වහන්සේලා බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව කියා සිටියේය.

මහානායක හිමිවරුන් සමඟ රටේ තත්ත්වය ගැන කථා කළ බවත්, සමගියෙන් යුතුව දේශපාලනය අමතක කර රට ගැන සිටිය යුතු කාලය එළඹ ඇති බව උන්වහන්සේ පැවසු බව ‍‍ද මන්ත්‍රීවරයා පැවසීය.

හැකියාව හා දැනුම ඇති වගකීම් පැවැරිය හැකි අය දේශපාලනය පසෙකින් තමා එක්විය යුතු බව උන්වහන්සේ අවධාරණය කළ බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් සිදුවු පිපිරීම් සම්බන්ධයෙන් ජනපතිගේ සිට පහලට වගකිව යුතු නිලධාරීන් සිටින බවත්, මෙවන් අවස්ථාවක නිදහසට කාරණා අවශ්‍ය නොවන බව ද පැවසු ‍ෆොන්සේකා මහතා, මේ වන විට විශාල ජීවිත ගණනක් අහිමිව තවත් පිරිසක් ආබාධිත තත්ත්වයට පත්ව ඇති බව ද පැවසීය.

රටේ භීෂණයක් හට ගෙන ඇති ‍මොහොතක යම් යම් අය අත් හෝදා ගනිමින් තනතුරුවලින් පහකිරීම විසඳුමක් නොවන බව ද සඳහන් කළ මන්ත්‍රිවරයා, පසුගිය යුද සමයේ ද සමහර නායකයින් අවශ්‍ය පියවර නොගත් නිසා මුළු රටම විනාශ වු බවත්, අද දවසේ ද එවැනි භයානක තත්ත්වයක් පවතින බව ද කියා සිටියේය.

ජනතාව බියෙන් හා සැකයෙන් ජීවත් වන බවත් පැවසු මන්ත්‍රීවරයා, අදාළ ආයතන සඳහා සුදුසුකම් ඇති අය පත්විය යුතු බව ද පැවසීය.

සමහර බලධාරීන් ප්‍රතිරූපය හදා ගැනීම සඳහා තමන්ට බලතල ලබා දීමට පසුබට වන බවත්, අත්හදා බැලීම් කිරීමට කාලයක් නොවන බව ද පැවසු සරත් ‍ෆොන්සේකා මහතා, හැකියාව ඇති පරපුරුද්ද තියෙන අයට අදාළ තැන් බාර දිය යුතු බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් පොලිස්පතිවරයාට යම් අසාධාරණයක් සිදුව ඇති බවත්, බුද්ධි නිලධාරීන් විසින් ලිපි බෙදන ලැයිස්තුවක් ඇති බැවින් නිසැකයෙන්ම එය ජනපති අතට පත්ව ඇති බව ද පැවසීය.

එමෙන්ම වෙන වෙන අඩුපාඩුකම් පොලිස්පතිවරයාට තිබුණත් මෙම ප්‍රශ්නයෙන් ගැල වීමට පොලිස්පති හා ආරක්ෂක ලේකම් බිල්ලට දුන් බව ද පැවසු මන්ත්‍රීවරයා නිශ්චිත කාලයක් තුළ නිවැරදි සැළැස්මක් අනුව මෙම ත්‍රස්ථවාදය පරාජය කිරීමට කටයුතු කළ යුතු බව ද පැවසීය.

Read more

Local News