රාමසාන් නිසා මුස්ලිම් දේවස්ථානවලට ආරක්ෂාව

Share

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස කාලය අදින (05) ආරම්භ වන අතර ඊට සමගාමීව නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේ මුස්ලිම් දේවස්ථානවල ආරක්ෂාව තර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රාමසාන් උපවාස සමය වෙනුවෙන්  නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් දේවස්ථාන අවට ආරක්ෂාව තර කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

පසුගිය මාර්තු මාසයේදී  එල්ල කළ මාරාන්තික ප්‍රහාරයකින් ක්‍රයිස්ට්චර්ච් නගරයේ  පුද්ගලයින් 51 දෙනෙකු මරණයට පත් වූ අතර ඒ හේතුවෙන් මෙම ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන්.

ක්‍රයිස්ට්චර්ච් නගරයේ අල් නූර් දේවස්ථානය අවට සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති අයුරු දැක්වෙන දර්ශන විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළේය.

ලොව පුරා වාසය කරන බිලියනයකට අධික මුස්ලිම් වැසියන් ප්‍රමාණයක්  රාමසාන් සමය වෙනුවෙන් උපවාස සීලයේ නිරත වේ.

රාමසාන් කාලයේදී හිරු උදාවෙන් අනතුරුව හිරු බැස යනතෙක් ගත වෙන කාලය ඇතුළතදී ඉස්ලාම් බැතිමතුන් කිසිදු ආහාර පානයක් ගන්නේ නැත.

නවසීලන්ත වැසියන්ට මෙවර එය සැමරීමට සිදුව ඇත්තේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයේ අමිහිරි මතකයත් සමග බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් රාමසාන් උපවාස සමය වෙනුවෙන්   ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබීම එරට මුස්ලිම් ජාතිකයින්ට  මහත් අස්වැසිල්ලක් වනු ඇති බව බලධාරීන් ප්‍රකාශ කළේය.

මේ අතර ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයෙන් තුවාල ලැබූ තුර්කි ජතිකයෙක් පසුගියදා මියගිය බව තුර්කි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.

ඒ අනුව ඉන් මියගිය පිරිස 51 දක්වා ඉහළ ගිය අතර  නවසීලන්ත ඉතිහාසයේ දරුණුම ප්‍රහාරය ලෙස එය ඉතිහාසයට එක් විය.

ප්‍රහාරය සිදු කළ බ්‍රෙන්ටන් ටරන්ට් නමැති විසි අට හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයාට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.

Read more

Local News