කිසිදු අයුරකින් “ආවා” නැමති කල්ලිය යළි හිස ඔසවීමට ඉඩ නොදෙනවා – අමාත්‍ය සාගල රත්නායක

Share

උතුරු පළාතේ ක්‍රියාත්මක “ආවා” නැමති කල්ලිය යළි ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බවට වාර්තා වූ බවත් ඒ පිළිබඳ විවිධ මාධ්‍ය වාර්තා පවා පළ වූ නමුත් ආවා කල්ලියට යළි කිසිදු අයුරකින් හිස ඔසවීමට ඉඩ නොදෙන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

පහුගිය දින 02 ඇතුලත මීට අදාළ සිද්ධි 08 ක් වාර්තා වූ අතර ඒ සිද්ධිවලට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ලයන් 06 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට අරන් තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වෙනකොට විශේෂ විමර්ශන සිදුකරන බව ද සඳහන් කළේය.

ඒ විමර්ශන කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය නිසා මේ වෙනවිට යාපනය පොලිස් කොට්ඨාසයේ නිලධාරීන්ගේ නිවාඩු ද අවලංගු කර තිබෙන බවත් යාපනයේ පමණක් නොව දකුණේ ක්‍රියාත්මක පාතාලය සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමේ ක්‍රියාවලිය මේවන විටත් ආරම්භ කර අවසන් බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

විදේශවල සැඟවිලා ඉඳන් පාතාලය මෙහෙයවන පාතාල ප්‍රධානින් සැඟවී සිටින ස්ථාන පවා මේවන විට හඳුනාගෙන තිබෙන අතර ඒ අය අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන්නට අවශ්‍ය සියලුම පියවර ගැනීම දැන් සිදුකරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News