කොච්චිකඩේ ප්‍රහාරකයාගේ වාහනය කිංස්බරි පිපිරීම කළ බෝම්බකරුගේ බව හෙළිවෙයි

Share

ඉකුත්දා කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරු එම ස්ථානයට පැමිණ ඇත්තේ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ පුද්ගලයාට අයත් වාහනයකින් බවට පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි රහස් පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලීසිය එම දැනුම්දීම සිදු කර ඇත.

රහස් පොලීසිය එම වාර්තාව මඟින් සඳහන් කර තිබෙන්නේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා එම ස්ථානයට පැමිණ තිබෙන්නේ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාට අයත් වාහනයකින් බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවය.

කොච්චිකඩේ ශාන්ත මුනිඳුන්ගේ දේවස්ථානයට ආසන්නයේ නවතා තිබූ ප්‍රහාරයට පසුදා පුපුරවා හරින ලද වාහනයෙන් අදාල මරාගෙන මැරෙන බෝම්බකරු දේවස්ථානය වෙත පැමිණ ඇති බවත් ඒ බව අසල පිහිටි සී.සී.ටී.වී කැමරා වලින් ලබාගත් දර්ශන වලින් තහවුරු වන බවත් පොලීසිය අධිකරණයට දන්වා ඇත.

ඒ අනුව පුපුරුවා හරින ලද එම වාහනයෙන් ලබා ගත් කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබාගන්නා ලෙස පොලීසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එම පරීක්ෂණවල ප්‍රගතිය ලබන 23 දා වාර්තා කරන ලෙස ද නියෝග කර තිබේ.

Read more

Local News