නීතීඥවරු 200 කට අධික පිරිසක් අත්සන් තැබු යෝජනා 7ක් ඇතුලත් ඉල්ලීමක්

Share

නීතීඥවරු 200 කට අධික පිරිසක් අත්සන් තබමින් යෝජනා 7 ක් ඇතුලත් ඉල්ලීමක් මගින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවන ලෙස වූ ඉල්ලීමක් ඊයේ(16) දින ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් කෞෂල්‍ය නවරත්න මහතා වෙත භාර දෙනු ලැබුවේය.

එකී යෝජනා පහත පරිදි වේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන ව්‍යවස්ථාවේ 2 වන අනු ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාළික විධි විධාන) පනතේ 27 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා භූමිය තුල තහනම් ත්‍රස්තවාදී සංවිධාන ලෙස මෙම ප්‍රහාරයේ වගකීම භාරගත් ISIS හෙවත් Islamic State of Iraq and Syria යන ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයත් එම ප්‍රහාරයේ දේශීය හවුල්කාර සංවිධාන ලෙස හදුනාගෙන ඇති ජාතික තවුහීද් ජමාත් (National Tauhid Jamathහා ජමියතු මිල්ලතෙයි ඉබ්‍රාහීම් Jammiyathul Millathu Ibrahim (JMI) සංවිධානයත් යන සංවිධානයත් අන්තවාදී දේශනා සිදු කරමින් ආගම් අතර අසමගිය වර්ධනය කිරීමට දායක වූ  සිලෝන් තවුහීද් ජමාත් (Ceylon Tauhid Jamath) යන සංවිධානයත් කඩිනමින් තහනම් කර නම් කරන ලෙස අපි යෝජනා ස්තිර කර සිටිමු.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් ඔවුන්ගේ අනුගාමිකයන් හා ඔවුන්ට අධාර අනුබල දුන් දේශපාලඥයන්ට තරාතිරම නොබලා කඩිනමින් දඩුවම් ලබා දීමේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවන ලෙස අපි යෝජනා ස්ථිර කරමු.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන හා ශ්‍රි ලාංකික මුස්ලිම් ප්‍රජාවට අනන්‍ය වූ ඇදුමක් නොවන සම්පූර්ණ මුහුණු ආවරණය කර ගැනී‍මේ ඇදුම් ස්තිරවම තහනම් කිරීමේ නීති ප්‍රතිපාදන කඩිනමින් හදුන්වාදිය යුතු බවට අපි යෝජනා ස්ථිර කරමු.

වෙනත් රටවල සරණාගතයන් ඉදිරියේදී ලංකාව වෙත භාර නොගැනීමටත් දැනට ලංකාව තුල සිටින සරණාගතයන් සියල්ල කඩිනමින් එක්සත් ජාතීනගේ සංවිධානය හරහා ආරක්ෂිතව පිටත් කිරීමටත් අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙසත් අපි යෝජනා ස්ථිර කරමු.

අන්තවාදය වපුරන හා පෝෂණය කරන අධ්‍යාපනික ඉගැන්වීම් හා අධ්‍යාපනික විශ්වවිද්‍යාල හෝ කිසිදු ආයතනයක් ශ්‍රී ලංකා භූමිය තුල ස්ථාපනය කිරීමට ඉඩ ලබා නොදෙන ලෙසටත් අන්තවාදය වපුරන හා පෝෂණය කරන දේශනා හා ඉගැන්වීම් සිදු කිරීම අපරාධ වරදක් ලෙස අර්ථ ගන්වා දණ්ඩ නීති සංග්‍රහට ගෙන එන සංශෝධනයක් මගින් එවැනි තැනැත්තන්ට අනිවාර්ය සිර දඩුවම් නියම කිරීමේ නව නීති හදුන්වා දෙන ලෙසත් අපි යෝජනා ස්ථිර කර සිටිමු.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල හා සහයෝගය හා පහසුකම් ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති මුස්ලිම් දේශපාලඥයන්ගේ එකී චෝදනාවන් පිළිබද 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසත් සහ2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ගේ වත්කම් විමර්ශනය කිරීමක් කරන ලෙසත් අපි යෝජනා ස්ථිර කරමු.

දැනට පවතින1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අඩුපාඩු වෙතොත් රටේ ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වයේ සලකා පක්ෂ විපක්ෂ සියළු පාර්ශවයන්ගේ එකගත්වය මත එම පනතටම නව සංශෝධන ගෙන ඒමට කටයුතු කිරීම උචිත බවටත් එසේ නොමැතිව තව දුරටත් පාර්ශවයන් තුල බෙදීම් හා සැකය මතුවන ප්‍රති ත්‍රස්ත පනත වැනි නව පනත් මේ අවස්ථාවේ කඩිනමින් සම්මත කර ගැනීමට යාම කිසිසේත් සුදුසු නොවන බවටත් අපි යෝජනා ස්ථිර කරමු.

Read more

Local News