සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේ ඉල්ලා අස්වෙයි

Share

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. පසුගිය සතියේ හමුදා කුමන්ත්‍රණයකින් පසු ජනාධිපතිවරයාට එරෙහිව එරට පාලක පක්ෂය විසින් විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමට සූදානම් අවස්ථාවේදී ඔහු මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. සාමකාමී බල හුවමාරුවක් වෙනුවෙන් තමන් ස්වේච්ඡාවෙන් මෙම තීරණය ගත් බව ලිපියක් මගින් ජනාධිපතිවරයා දන්වා ඇති බවයි වාර්තා වී ඇත්තේ.

ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලා අස්වීමත් සමඟ ජනතාව වීදි බැස ප්‍රීතිඝෝෂා පවත්වන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි. අනූ තුන් වැනි වියෙහි පසුවන මුගාබේ ලොව වයස් ගතම පාලකයා වන අතර වසර තිස් හතක් ජනාධිපති ධුරය දැරූ අයකු වේ. සිම්බාබ්වේ හමුදාව විසින් පසුගියදා රටෙහි පාලනය තමන් අතට ගත් පසු මොහුගේ ඉල්ලා අස්වීම ලැබෙන තුරු බලා සිටියද ඔහු ඉල්ලා අස් නොවෙනු ඇතැයි මෙරට පාලක පක්ෂය අනුමාන කොට ඔහුව ඉවත් කිරීමට විශ්වාස භංගයක් ගෙන එන බවට ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවට භාර දී ඇත.

තම උප ජනාධිපති බලයෙන් නෙරපා හැර සිය බිරිඳ වෙත තමන්ගෙන් පසු බලය ලබා දීමට ගත් තීරණයට විරෝධය පෑමක් වශයෙන් හමුදාව විසින් සිම්බාබ්වේ රාජ්‍ය පාලනය පසුගියදා සියතට ගනු ලැබීමෙන් පසු රොබට් මුගාබේ නිවාස අඩස්සියේ පසු විය.

Read more

Local News