ජාත්‍යන්තරය දිනා ගැනීමේ අභියෝගය ජය ගනිමින් ලෝකයේ සෑම රාජ්‍යයක් හා ජාත්‍යන්තර සංවිධානයක්ම ශ්‍රී ලංකාවේ මිතුරන් – ජනපති

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 100ක සූර්යබල ශක්තිය එක් කිරීම සනිටුහන් කරමින් ඊයේ (21) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති උත්සවය අමතමින් පැවසුවේ මීට වසර තුනකට පෙර අද වන් දවසක වෙනසක් උදෙසා පැවති රජයෙන් එළියට ආ තමන් අද එම වෙනස උදෙසා බොහෝ දේ ඉටුකර තිබෙන බවයි.

අද තමන් වෙත කුමන පාර්ශ්වයකින් ඇගිල්ල දිගු වුවද, යහපාලන සංකල්පය ක්‍රියාත්මක කිරීමට ගත් තීන්දුව අනුව, දුෂණය, වංචාව, හොරකම සහ නාස්තිය සමග දුෂිත දේශපාලනය රටින් තුරන් කර යහපත් සහ සදාචාරවත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේ ප‍්‍රවේශය මේ වන විට සනිටුහන් කර තිබෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.
යහපාලන රජයේ ඉලක්ක සම්පූර්ණ කිරීමේදී සමත් ද, අසමත් ද යන්න පිළිබද තවමත් කිසිවෙකුට සහතික ලබාදිය නොහැකි අතර යහපාලන රජයේ නිල කාලය අවසන්වන විට සමත් බවට සහතිකය ලබා ගත හැකි සාක්ෂි, සාධක සහ තොරතුර රැසක් ප‍්‍රකාශයට පත්කිරීමේ හැකියාව පවතින බවද ජනාධිපතිතුමා සදහන් කළේය.

මීට වසර තුනකට පෙර රට මුහුණ දුන් දැවැන්ත අභියෝගයක් වූ ජාත්‍යන්තරය දිනා ගැනීමේ අභියෝගය ජය ගනිමින් ලෝකයේ සෑම රාජ්‍යයක් හා ජාත්‍යන්තර සංවිධානයක්ම ශ්‍රී ලංකාවේ මිතුරන් බවට පත්කර ගැනීමට රජයට හැකියාව ලැබුණු බව ද පැවසූ ජනාධිපතිතුමා එම ඉලක්කය මෙන්ම රට වෙනුවෙන් වූ ඉලක්ක රැසක් මේ වන විට රජය සාර්ථකව ජයගෙන තිබෙන බව ද සඳහන් කළේය.

රටට පැණවීමට තිබූ ජාත්‍යන්තර සම්බාධක ඉවත් කර ගැනීම, එදා දේශපාලන වේදිකාව මෙන්ම මාධ්‍ය තුළ නිරන්තර කථා බහකට ලක්වූ විදුලි පුටුව සහ ජාත්‍යන්තර යුධ අධිකරණය හා ජාත්‍යන්තර විනිසුරුවරුන් ගෙන්වීමේ කථා බහ සම්පූර්ණයෙන් අවසන් කිරීම, 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනතාවගේ මානව අයිතිවාසිකම් ශක්තිමත් කරමින් සහ සියලු ක්ෂේත‍්‍රවල ස්වාධිනත්වය ඇති කරමින් ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම මෙන්ම මීට පෙර නායකයින් අධිකරණය හැසිර වූ ආකාරය වෙනස් කර නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම එම ජයග‍්‍රහණ අතර කිහිපයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

එමෙන්ම රට මුහුණදුන් ණය බර ඉවත් කරමින් රටේ ආර්ථිකය යහපත් කිරීමට රජය ගත් තීන්දු තීරණවල ඉතා යහපත් ප‍්‍රතිඵල ලැබී තිබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. රට තුළ සිදුවූ මෙම වෙනස සිදු නොවී මීට වසර 03 කට පෙර තිබූ තත්වයෙන් මේ රට තිබුණානම් අද රටට අත්වන ඉරණම බුද්ධිමත් සියලු දෙනාගේ අවධානයට ලක්විය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

සූර්ය බලශක්තියේ ප‍්‍රගතිශීලි හැරවුමක් සනිටුහන් කරමින් හරිත බල ශක්තියෙන් රට ස්වයං පෝෂිත කිරීම සඳහා සූර්ය බල සංග‍්‍රාමය මීට වසරකට පෙර ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසින් ආරම්භ කෙරිණි. මෙම ව්‍යාපෘතිය තුළින් විදුලිබල පාරිභෝගිකයා විදුලිබල නිෂ්පාදකයෙකු බවට පත් කෙරෙන අතර පවුල් දසලක්ෂයකට නිසැක අමතර ආදායමක් හිමිකර දෙන ව්‍යාපෘතියකි.

අද වන විට මෙම සූර්ය බල සංග‍්‍රාම ව්‍යාපෘතිය ඇසුරෙන් පළමු වසර ඇතුළත් මොගාවොට් සියයක විදුලි බලධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට ලබාදීමට හැකිව ලැබී තිබේ.

ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සදහා සහය දැක්වූ ආයතන හා නිලධාරින් වෙත ඇගයීම් සම්මාන පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. පුවක්ගහ උල්පත පළමු සූර්යබල ගම්මානයේ සූර්යබල පද්ධතියේ හිමිකරු වෙත අදාළ චෙක්පත ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. ජනාධිපතිතුමා වෙත ද විශේෂ උපහාර තිළිණයක් පිළිගැන්විණි.

අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති කීර්ති වික‍්‍රමරත්න, විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.ඞී. ගනේගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News