ප්‍රසන්න රණතුංගට එරෙහි නඩුව යළි විභාගයට ගනී

Share

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද(23) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණි.

එහිදී සාක්ෂි දුන් දුරකථන සමාගමේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීයෙකු කියා සිටියේ මෙම සිද්ධිය වූ වකවානුවේ නඩුවේ විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතාගේ ජංගම දුරකථනයේ සිට මෙම නඩුවේ පැමිණිලිකරු වන ව්‍යාපාරික ජෙරාඩ් මෙන්ඩිස් මහතාගේ දුරකථනය අතර දුරකථන ඇමතුම් හුවමාරු වී ඇති බවයි.

දින ගණනාවක් සහ අවස්ථා ගණනාවකදී මේ ආකාරයෙන් දෙපාර්ශවය අතර දුරකථන සංවාද පැවති බවට තාක්ෂණික කරුණු ඔස්සේ අනාවරණය වී ඇතැයිද සාක්ෂිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

වැඩිදුර විමසීම ලබන 06 වනදාට කල් තැබුණි.

කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩකර එහි පදිංචි අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීම සඳහා ව්‍යපාරික ජෙරාඩ් මෙන්ඩිස් නමැත්තාට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ.

Read more

Local News