තවුහිද් ජමාත්හි තවත් 5ක් අත්අඩංගුවට

Share

සහරාන් හසීම් නමැත්තා සමඟත් තවුහිද් ජමාත් සංවිධානය සමඟත් සමීප සබඳතා පවත්වමින් දිස්ත්‍රික්ක දෙකක අන්තවාදී දේශන සිදුකළ සංවර්ධන සහකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු හොරොව්පොතාන කිවුලේකඩ සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව යන ප්‍රදේශවලදි අද (24) උදෑසන අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලීසිය පවසයි.

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතාට ලැබුණු තොරතුරක් අනුව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන හොරොව්පොතාන කිවුලේකඩ පදිංචි මොහිදින් බාවා නවුපර් සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව ප්‍රදේශයේ පදිංචි නූර්ගෙ සකරියා, ලෙබිබෙ තම්බි ජස්මින්, සෙයුනූල් ආබ්දින් ඉරුෂාන්,සෙයුනිදීන්ගෙ හලිම් තුල්ලා, යන සැකකරුවන් පස් දෙනෙකි.

පොලීසිය පවසන්නේ මොවුන් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්ක  පිහිටි විවිධ ස්ථාන වල අන්තවාදී දේශන සිදුකර ඇති බවය.

ඊට අමතරව ත්‍රස්ත ප්‍රහාරයට  සම්බන්ධ දැනට විදේශගතව සිටින ප්‍රධාන  සැකකරුවෙකු සමඟ ද මෙම සැකකරුවන් සමීප සබඳතා පවත්වා ඇති අතර ඔහුගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන ඇති බවටත් පොලීසිය වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (25) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72 ක් රඳවා ප්‍රශ්න  කිරීමට අවසර ලබා ගැනීමට නියමිත අතර උතුරුමැද වයඹ භාර ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය  පොලිස්පති ජගත් අබේසිරිවර්ධන, උතුරුමැද නියෝජ්‍ය  පොලිස්පති ප්‍රතාප්  සදුන්ගහවත්ත, කොට්ඨාසභාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරන, හොරොව්පොතාන සහකාර පොලිස් අධිකාරී සනත් බණ්ඩාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ගාමිණී ජයවර්ධන, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති යන  නිලධාරීහු ඉදිරි පරීක්ෂණ සිදු කරති.

Read more

Local News