රාජ්‍ය සේවයට උපාධිධාරීන් 22,000ක් බඳවා ගනීද ?

Share

රාජ්‍ය සේවය සඳහා මේ වසර තුළ උපාධිධාරීන් 22,000ක් බඳවා ගැනීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද(22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති තල් සංවර්ධන අරමුදල ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද මේ බව පැවසීය.

“මෙම අරමුදලට අමතරව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් ගම්පෙරළිය වැඩසටහන යටතේ රුපියල් බිලියන 7ක් අපි ලබා දෙනවා.

ඒ අනුව සමස්තයක් ලෙස බලන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් මේ වසරේ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 50ක් පමණ වෙන්කර තිබෙන බව භාණ්ඩාගාර ලේකම්තුමා මා සමඟ පැවසුවා.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත නිවාස 2000 ව්‍යාපෘතිය යටතේ විනාශ වූ නිවාස සංවර්ධනය කිරීමේ වැඩකටයුතු සිදුකෙරෙනවා. ඒවගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මේ ප්‍රදේශවලට මුදල් ලබාදෙනවා.

අපේ රජය විසින් උපාධිධාරීන් විසි දෙදහසක් රාජ්‍ය සේවයට බදවා ගැනීමේ ව්‍යාපෘතිය මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඉන් කොටසක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල උපාධිධාරීන්ට ලබාදීමට කටයුතු කරන බවත් පැවසිය යුතුයි. මේ ආකාරයට උතුරු නැගෙනහිර සංවර්ධනයට අවශ්‍ය සියලූ කටයුතු අපි සිදු කරනවා.

උතුරු නැගෙනහිර ප්‍රදේශවලට යුද්ධය නිසා ඇති වූ හානිය විශේෂයෙන් පැවසිය යුතු නැහැ. අප මේ ප්‍රදේශවල සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ එම නිසායි.

මේ ප්‍රදේශ සංවර්ධනය කරන අතරතුර රටේ අනෙක් ප්‍රදේශවලත් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙනවා. එම සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයෙන් ලබාදෙන දිරිගැන්වීම් පිළිබඳව මුදල් අමාත්‍යතුමා ඉදිරියේදී රටට ප්‍රකාශ කිරීමට නියමිතයි.

මේ අනුව රටේ සංවර්ධනය වෙනුවෙන් මේ වසර තුල අපි වැඩකටයුතු විශාල ප්‍රමාණයක් භාරගෙන තිබෙනවා. ඉන් පළමු කාර්ය විය යුත්තේ  වෙන්කර තිබෙන සියලූ මුදල් සංවර්ධන වැඩසටහන් සඳහා වියදම් කිරීම බව මම අවසන් වශයෙන් ප්‍රකාශ කරනවා.“

Read more

Local News