සුළු ජාතීන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා නවත්තන්න සම්බන්ධන් ජාත්‍යන්තර සහාය ඉල්ලයි

Share

සුළු ජාතීන්ට එරෙහිව සිදුවන ප්‍රචන්ඩ ක්‍රියාවන් වැළක්වීම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බලපෑම් සිදුකළ යුතු බවට  දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා ශ්‍රීලංකාවේ ඔස්ට්‍රේලියානු තානාපති ඩේවිඩ් හෝලි මහතා හමුවී ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස ලක් රජයට බලකරන ලෙස ද සම්බන්ධන්  මහතා මෙහිදී ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවේ නව ඔස්ට්‍රේලියා තානාපති ලෙස පත්වූ ඩේවිඩ් හෝලි මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා අතර හමුවක් අද (29) කොළඹ දී පැවැත්විණි.

පාස්කු ඉරිදා මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත් ඉන්පසු මුස්ලිම් ජනතාව ඇතුළු සුළු ජාතීන්ට එරෙහිව සිදුවූ ප්‍රචණ්ඩකාරී තත්වය පිළිබඳවත් උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම හා නැවත පදිංචි කිරීම පිළිබඳවත් ත්‍රස්තවාදය වැළ්ක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳවත් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුම් ගෙන ඒම පිළිබඳවත් සම්බන්ධන් මහතා තානාපතිවරයා හමුවේ කරුණු දක්වා තිබේ.

එමෙන්ම ත්‍රස්ත ප්‍රහාරයය සම්බන්ධ සියළු පුද්ගලයින් හට මෙන්ම ත්‍රස්ත ප්‍රහාරය හේතු කරගනිමින් සුළු ජාතීන්ට එරෙහිව ප්‍රචණ්ඩව හැසිරුණු පුද්ගලයින්ට එරෙහිව ද දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද මෙහිදී තවදුරටත් කරුණු දක්වමින් අවධාරණය කර තිබේ.

Read more

Local News