ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය තවත් මාස කිහිපයකට කල්යයි

Share

සාමාජිකයන් ගණන වැඩි විධායක සභා යෝජනාව පිළි නොගැනීම, නව ක්‍රීඩා සංගම් 6කට ඡන්ද අයිතිය හා ස්වාධීන නිලවරණ කමිටුවට සාමාජිකයන් පත්කර ගැනීම යන කරුණු 3කට අදාළව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ජාතික ඔලිම්පික් කමිටුවට එවා ඇති නියෝග කිහිපයක් හේතුවෙන් ඔලිම්පික් නිලවරණය තවත් මාස කිහිපයකින් කල්දැමීට සිදුව තිබේ.

ඔලිම්පික් නිලවරණය ලබන ජනවාරි 9 වැනිදා පැවැත්වීමට කලින් තීරණයක් ගෙන තිබුණද, අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කළ ඔලිම්පික් ව්‍යවස්ථාවේ නව වගන්ති කිහිපයක් පිළිබඳ ලැබුණු නියෝග අනුව නිලවරණය එලෙස කල් දැමීමට සිදුවනු ඇත.

පසුගියදා පැවැති මහා සභා රැස්වීමේදී එළැඹි අදහස් අනුව විධායක සභාව පුළුල් කළ යුතු බවට වූ යෝජනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව දැනුම් දී ඇත. එම යෝජනාව භාර නොගන්නා බව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත්තේ ඡන්දයෙන් තේරී පත් නොවුණ අයට ජාතික ඔලිම්පික් කමිටු විධායක සභාව නියෝජනය කිරීමේ අවස්ථාව උදාකර දිය යුතු බවටවූ යෝජනාව හේතුවෙනි. ඒ අනුව ජාතික ඔලිම්පික් කමිටු විධායක සභාව නියෝජනය කළ හැක්කේ ඡන්දයෙන් තේරී පත්වූ නිලධාරීන්ට පමණි.

නව ජාතික ක්‍රීඩා සංගම් 6කට සමාජිකත්වය පිරිනැමීම සම්බන්ධව අන්තර්ජාතික ඔලිම්පික් කමිටු නියෝගයවී ඇත්තේ එම සංගම් 6ට කඩිනමින් ඡන්ද බලය හිමිකර දිය යුතු බවයි. රගර්, රෝද සපත්තු, බේස්බෝල්, නූතන පංච ප්‍රයාම, කරාටේ දෝ හා කැනොයින් යන ජාතික ක්‍රීඩා සංගම්, ඔලිම්පික් කමිටු සාමජිකයන් ලෙස පිළිගත යුතු බව දැනුම්දී ඇත. එම සංගම් අන්තර් ජාතික ක්‍රීඩා සංගම්වල අනුමැතිය ලබා ඇත්නම් ජාතික ඔලිම්පික් කමිටුවේ ඡන්ද අයිතිය අනිවාර්ය බව නියෝග කොට ඇත.

එමෙන්ම ඉදිරි නිලවරණය වෙනුවෙන් ස්වාධීන කමිටු සාමාජිකයකු පත්කර ගන්නා ලෙසත් එයට අමතරව අතිරේක නිලධාරීන් දෙදනකු ද අතිරේකව පත්කර ගන්නා ලෙස ජාතික ඔලිම්පික් කමිටුවට එවූ නියෝගවල සඳහන් වේ.

මේ පිළිබඳ ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වල්ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී පැවැසූවේ අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝග පිළිබඳ මහා සභාවට දැනුම්දී නිලවරණය පිළිබඳ තීරණයක් ගත යුතුව ඇති බවයි. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝග පිළිපැදීමට ජාතික ඔලිම්පික් කමිටුව බැදී සිටින බවද සිල්වා මහතා පැවැසීය.

මේ අතර ඔලිම්පික් කමිටුවේ ගිණුම් වාර්තා විගණනය ඉක්මන් කිරීමට පියවර ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය විගණකාධිපති දෙපාර්තමේන්තුවට දන්වා ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයකු පැවැසීය. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කොට ඇත්තේ කිසිදු ක්‍රීඩා සංගමයක් ගිණුම් වාර්තා විගණනය නොකොට නිලවරණ පැවැත්වීම නීති විරෝධී බවය. එලෙස ගිණුම් වාර්තා විගණනය නොකොට යම් ක්‍රීඩා සංගමයක් නිලවරණය පැවැත්වුවහොත් නිලධාරීන්ට දඩුවම් පමුණුවන බව ක්‍රීඩා නියෝගවලද ඇතුළත්ය. එබැවින් ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධව ද ඇමැතිවරයාගේ මතය වෙනස් නොවන බව ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේය.

ඔලිම්පික් නිලවරණය අවසන් වරට වසර 2009දී පැවැති අතර 2013 පෙබරවාරි 27 වැනිදා නිලවරණය නැවත කැඳවීමට ගත් උත්සහය ක්‍රීඩා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උද්ගතවූ අර්බුදය හමුවේ අසාර්ථක විය.

ඔලිම්පික් කමිටු නිලවරණයට අදාළ නාම යෝජනා නිලවරණයට දින 45කට කලින් කැඳවිය යුතු අතර, විගණිත මූල්‍ය ප්‍රකාශ සමග මහා සභාව කැඳවා නව නිලධාරී මණ්ඩලය පත්කර ගත යුතු වේ. වසර 20ක් ඔලිම්පික් කමිටුවේ කටයුතු කරමින් දීර්ඝතම ප්‍රමුඛ ක්‍රීඩා පරිපාලන නිලධාරියකුවූ වත්මන් මහජන බැංකු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා එළැඹෙන ඔලිම්පික් කමිටු නිලවරණයේදී සභාපති තනතුරට තරග නොකරන අතර මැක්ස්වෙල්ද සිල්වා මහතා ලේකම් ලෙස තවදුරටත් කටයුතු කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.

Read more

Local News