Home දේශීය පුවත් කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පැමිණිලි 200ක් දක්වා ඉහළට

කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පැමිණිලි 200ක් දක්වා ඉහළට

0
කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පැමිණිලි 200ක් දක්වා ඉහළට

වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගැනීමෙන් පසු තමන්ට යළිත් දරුවෙකු බිහිකිරීමේ අවස්ථා නොලැබුණු බවට පවසමින් අදත් මව්වරුන් 80 දෙනෙකු පමණ කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ශාෆිට එරෙහිව කුරුණෑගල රෝහලට පමණක් ඉදිරිපත් වූ  පැමිණිලි සංඛ්‍යාව 200ක්.

සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වන්ද්‍යාකරණය කළ බවට චෝදනා එල්ල වී තිබෙන වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගත් මව්වරුන් රැසක් අදත් කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කළේය.

ඒ අතරින් පැමිණිලි වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබුණේ පළමු දරු ප්‍රසූතිය සඳහා වෛද්‍ය ශාෆි කළ සිසේරියන් සැත්කමෙන් පසු දරුඵල අහිමිවීම පිළිබඳවයි.

කෙසේවෙතත් දෙවන දරු ප්‍රසූතිය සඳහා වෛද්‍ය ශාෆිගෙන් සිසේරියන් සැත්කම කරගත් පසු දරුඵල අහිමි වූ මව්වරුන් ද අද පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

අද දිනයේ කුරුණෑගල රෝහලට ලද මුළු පැමිණිලි සංඛ්‍යාව 80ක් වන අතර ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ලද සමස්ත පැමිණිලි සංඛ්‍යාව 200ක්.

වෛද්‍ය ශාෆි දඹුල්ල රෝහලේ සේවය කළ කාල සීමාවේ ඔහුගෙන් සිසේරියන් සැත්කම් කරගත් තවත් මව්වරුන් 11 දෙනෙකු අද දඹුල්ල පොලීසියටත් දඹුල්ල මූලික රෝහලටත් පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

පැමිණිලි ඉදිරිපත් කිරීමේදී සැළකිලිමත් විය යුතු තවත් කරුණු සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මව්වරුන්ගෙන් ඉල්ලීමක් කළේය.

මේ අතර අසාධාරණයට ලක්වූ මව්වරුන්ට නොමිලේ නීති ආධාර ලබාදීමට නීතිඥයින් පිරිසක් සූදානම්ව සිටි.

එමෙන්ම වෛද්‍ය ශාෆි අත්අඩංගුවට ගැනීමත් සමඟ කතාබහට ලක්වූ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කුලියාපිටි‍යේ පැවැති සංහිදියා වැඩසටහනකදී මව්ලවිවරයෙකු අදහස් පළ කළේය.

එමෙන්ම වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා ද අද කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අදහස් පල කළේය.

මේ අතර වෛද්‍ය ශාෆිට එරෙහි වන්ද්‍යාකරණ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට දේශපාලන අතපෙවීම් නවතා, සාධාරණ  පරීක්ෂණයක් පවත්වන ලෙසට බල කරමින් අදත් කුරුණෑගල රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත් විය.

කුරුණෑගල රෝහල සුරැකීමේ සංවිධානය ක්‍රියාත්මක කළ මෙම විරෝධතාවට වයඹ පළාතේ සියලු රෝහල් නියෝජනය කරමින් වෛද්‍ය, හෙද සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් එක්ව සිටීම විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here