අධ්‍යාපන ඩිජිටල් ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවේ පූර්ණ සහය ශ්‍රී ලංකාවට

Share

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සමරුව නිමිති කොට ගෙන අධ්‍යාපන ක්ෂේත්‍ර‍යේ සිදු කිරීමට බලාපොරොත්තු වන ඩිජිටල් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියාවේ පූර්ණ සහය ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.
සියලූ පාසැල් සිසු දරු දැරියනට පරිගණක ටැබ්ලට් ලබා දීමේ වැඩ පිළිවෙල අත්හදා බැලීමේ නියමු ව්‍යාපෘතියන් ලෙස ක්‍රියාත්මක කරලීමට සහ ඊට අවශ්‍ය සිංහල හා දෙමළ භාෂා මෘදුකාංග නිර්මාණය කරලීමට ඉන්දීය විශේෂඥ සහය ලබා දීමටත්, ඒ වැඩ පිළිවෙල සඳහා තොරතුරු තාක්‍ෂණ සහයෝගීතා සැලසුමක් සැකසීමටත් ඉන්දියාව මූලිකත්වය ගෙන ක්‍රියා කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා අද (23 ) දහවල් නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේ දී පැවති අතර, මෝදි මහතා විසින් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී.
බලශක්ති හා ආහාර සුරක්‍ෂිතතාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු වැඩ සටහන් සම්බන්ධයෙන් ද දෙරටේ අගමැතිවරු අදහස් හුවමාරු කර ගත්හ. ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවත්වාගෙන යෑමේ සහ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කෙරිණි. ඒ සම්බන්ධයෙන් ගත යුතු සාමූහික ක්‍රියා මාර්ගයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතා පෙන්වා දුන්නේ තරුණ පරපුරේ අභිලාෂයන් සපුරාලීමට නම් කඩිනම් සංවර්ධන සැලසුම් ක්‍රියාවට නැංවිය යුතු බවය. ඒවා ක්‍රියාත්මක කරලීමේ දී එළැඹෙන අභියෝගයන්ට මුහුණදීමේ ආකාරයන් පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැණිනි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව ක්‍රියාත්මක කරලීමට අපේක්‍ෂිත සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. මෝදි මහතා පැවසූයේ ජනාධිපතිතුමන්ගේ ද දැඩි අවධානය මේ සඳහා යොමු කොට සංවර්ධන සැලසුම් ඉක්මනින්ම ඇරඹිය යුතු බවට ඉන්දියාව යෝජනා කරන බවය. මේ සංවර්ධන සැලසුම් හරහා ශ්‍රී ලංකාවේ වත්කම් පමණක් නොව රැකියා උත්පාදන අවස්ථාවන් ද නිර්මාණය වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ ශ්‍රී ලංකා – ඉන්දීය හවුල් ව්‍යෘපෘති කඩිනම් කිරීමේ සියලූ ප්‍රයත්නයන් ගැනීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවය. දැනට මතුවී ඇති යම් යම් ගැටළු ඉක්මණින් නිරාකරණය කර ගත හැකි බවට ද වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කළේය.
ඉන්දු – ශ්‍රී ලංකා සම්බන්ධතාවන් ශක්තිමත් කරලීම උදෙසා වික්‍රමසිංහ මහතා සිදු කරනු ලබන මෙහෙවර ඉන්දීය අග්‍රාමත්‍යවරයාගේ පැසසුමට ලක් විය. අභ්‍යන්තර දේශපාලන පීඩනයන් මධ්‍යයේ වුව ද වික්‍රමසිංහ මහතා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තහවුරු කරලීම සඳහාත්, සබදතා පුළුල් කරලීම සඳහාත් අති විශාල සේවයක් සිදු කරන බව මෝදි මහතා ප්‍රකාශ කළේය.
පසුගිය මැයි මාසයේ සිය ශ්‍රී ලංකා සංචාරයේ දී ශ්‍රී ලංකා ජනතාව තමන් වෙත දැක්වූ ආදරය සහ දයාව වෙනුවෙන් විශේෂ ස්තුතියක් පිරිනමන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලංකාවේ සහ ඉන්දීය ජනතාව අතර, පුද්ගල සබඳතා වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.

Read more

Local News