රතන හිමි ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ

Share

පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ තවදුරටත් මහනුවර මහ රෝහලේ ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි පසුගිය සිකුරාදා දිනයේ උපවාසයක් ආරම්භ කල අතර බස්නාහිර සහ නැගෙනහිර ආණ්ඩුකාරවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්විමත් සමඟ උන්වහන්සේ උපවාසය අත්හරිනු ලැබීය.

දින හතරකට ආසන්න කාලයක් කෑම සහ දියර පානය නොකිරිම හේතුවෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විජලන තත්ත්වයෙන් පසුවන බව මහනුවර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම් සමන් රත්නායක මහතා සඳහන් කළේය.

මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසදී උපවාසයේ නිරත වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඊයේ (03) සවස 2.30 ට පමණ උපවාසය අත් හරිනු ලැබීය.

ඒ උන්වහන්සේ උපවාසයේ නිරත ස්ථානයට පැමිණි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීම උන්වහන්සේට ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුවයි.

අනතුරුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ව මහනුවර රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, මෛත්‍රී ගුණරත්න මහතා විසින් ප්‍රකාශ කළ නිවේදනය සත්‍ය බව තමා විශ්වාස කරන බවයි.

ජනතාව ඉදිරියේ පැවසු බැවින් එය විශ්වාස කළ හැකි බව ද කියා සිටි රතන හිමියන් රිෂාඩ් බුදියුර්දීන් ධූරයෙන් ඉවත් කිරීම ජනපතිට කළ නොහැකි අතර, ඒ ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණයක් ගනු ඇතැයි විශ්වාස කරන බව ද පැවසීය.

එසේ නොවුන හොත් ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ දී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට කටයුතු සුදානම් කර ඇති බව ද උන්වහන්සේ මෙහිදී වැඩදුරටත් කියා සිටියේය.

දරුවන් වද කිරීම සම්බන්ධයෙන් ස්වාධීන කොමිෂන් සභාවක් ස්ථානපනය කිරීමට හැකියාවක් ඇති බවත්,  අධ්‍යාත්මික අධිෂ්ඨානයක් ඇති තනි පුද්ගලයෙකුට සමාජයක් වෙනස් කළ හැකි බවත් පැවසු උන්වහන්සේ තමා ඒ ආදර්ශය ලබා දුන් බවට විශ්වාස කරන බවද පැවසීය.

පසුගිය මැයි මස 31 වන දින සිකුරාදා දිනයේ දී රතන හිමියන් විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය එම තනතුරුවලින් ඉවත් කරන ලෙස සහ සිංහල මව්වරුන් වඳභාවයට පත්කළැයි පැවසෙන මොහොමඩ් ෂාෆි ඇතුළු වෛද්‍යවරු පිළිබඳ විමර්ශනය කිරීමට ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන ලෙස ජනාධිපතිවරයාට බල කරමින් මෙම උපවාසය ආරම්භ කළේය.

Read more

Local News