Tuesday, March 19, 2024.

මරණ දඬුවමට එරෙහිව ගොනු කළ පෙත්සම සලකා බැලීම කල්යයි

Share

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී සිටින සිරකරුවන් හතර දෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ගොනු කර ඇති පෙත්සම නැවත ඔක්තෝම්බර් මස 31 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම පිළිබඳව මූලික කරුණු සලකා බැලීමක් සිදු කළ අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ප්‍රමුඛ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් එම පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබාදෙන්නේ ද නැද්ද යන තීන්දුව අද(17) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් ඔක්තෝබර් මස 30 වැනිදා තෙක් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති හෙයින් එම අවස්ථාවේ තම තීන්දුව ප්‍රකාශ නොකිරීමට අභියාචනාධිකරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කර තිබේ.

ඒ අනුව මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම ඔක්තෝම්බර් මස 31 වන දා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් නියම කර තිබේ.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, දීපාලි විජේසුන්දර, ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණි.

Read more

Local News