වාරිමාර්ග ආඥා පනත නැවත සංශෝධනය විය යුතු බව හැරිසන් කියයි

18

වාරිමාර්ග ආඥා පනත නැවත සංශෝධනය විය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

45 වන වාරි ඉංජිනේරු හමුවට එක්වෙමින් අමාත්‍යවරාය මේ බව සඳහන් කළේය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙහි සේවයේ නියතු ඉංජිනේරු නිලධාරීන්ගේ 45 වන වාර්ෂික හමුව වැල්ලවත්ත හෝටලයේදී කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවත්විණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.

අපේ ජාතියේ පැවැත්ම පටන් ගංඟා ඇළදොළ ආශ්‍රිතව තමයි මිනිසුන්ගේ ජනාවාස ඉදි කෙරුණේ. ඒ මොකද වාරි මාර්ගයත් එක්ක බැඳුණු ඉතිහාසයත් තමයි අපිට තියෙන්නෙ. ඒක නිසා අපේ රටේ තියෙන අමාත්‍යාංශ අතරින් ගත්තත්, ආයතන අතරින් ගත්තත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉතිහාසයට ලොකු නෑකමක් තියෙනවා.

වාරිමාර්ග ගත්තහම දැන් වැවට, වාරිමාර්ග ජලාශයට අයිතිවාසිකම් කියන කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. දැන් ධීවරයෝ කියනවා, අපිට තමයි මේ වාරිමාර්ගවල අයිතියක් තියෙන්නේ කියලා.

ජල සම්පත් මණ්ඩලය කියනවා, අපිට තමයි වාරිමාර්ගවල අයිතිය කියලා. ජලය බීමට දෙන්න ඕන. ගොවියෝ ඇවිල්ලා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට කියනවා, අපිට අපේ කුඹුරුවලට අවශ්‍ය ජලය සපයන්න ඕන කියලා. දැන් මේ අර්බුදවලට මැදිවෙලා තමයි කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.

දැන් උදාහරණයක් විදිහට මම දන්නවා, කන්තලේ වැවේ වතුර බීමට ගන්නවා. හැබැයි මහවැලි ගඟේ පොම්ප ටික හයි කරල තියනවා. පොම්ප ටික නිකන්, කෝටි ගාණක් වියදම් කරලා හයිකරලා තියෙනවා.

ජලාශයේ වතුර තමයි ගන්නෙ. දැන් ඒ අර්බුදයට උත්තර දෙන්න වෙනවා. ඊට පස්සේ ගොවීන්ට උත්තර දෙන්න වෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව කන්න රැස්වීම් තියලා, තීරණ ගන්නවා.

ඒ තීරණ ගැන ජල සම්පත් මණ්ඩලය දන්නේ නෑ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු ඉංජිනේරු මහත්වරුන්ට, නෝනලට ඔක්කොටම අර මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය වගේ ගොවීන් සතුටු කරන්නත් ඕන. ධීවරයෝ සතුටු කරන්නත්ඕන. ජල පරිභෝජකයන් සතුටු කරන්නත් ඕන.

දැන් අපි ජල කළමනාකරණය වෙනුවෙන් කටයුතු කරන්න ගියාම, මේ ගංවතුර පාලනය ස්ථාපිත කරන්න ඕන කිව්වම, ඒකටත් උරුමකම් තියෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩකට මැදිහත් වෙන්න වෙලා තියෙනවා.

ඒකයි ලේකම්තුමා කිව්වේ වාරිමාර්ග ආඥා පනත නැවත සංශෝධනය විය යුතුයි කියලා. එහෙම නැති වුණොත් අපිට මේ රාජකාරි කිරීමේදී විවිධ ප්‍රශ්න ගැටළුවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අද රටේ ඉතුරු වෙලා තියෙනවා නම් යමක්, ඉතුරු වෙලා තියෙන්නේ ඉතිහාසයත් එක්ක.

දැන් අවුරුදු හත්සියකට, අටසීයකට ඉස්සරවෙලා යෝධ ඇළ නිර්මාණය කිරීම ගැන අදටත් විශේෂඥයෝ පුදුම වෙනවා. හැතැක්මකට අඟලේ බැස්ම කොහොමද හැදුවේ කියලා. මම ඊයේ පෙරේදා ආපු විදේශීය කණ්ඩායමකින් ඉල්ලුවා, යෝධ ඇළ ආයෙමත් සංරක්ෂණය කරලා දෙන්න කියලා.

අඩුගාණේ අනාගතයේදී පාසල් දරුවෙකුට, රටේ ඉන්න කෙනකුට, නැත්නම් ලෝකෙ ඉන්න කෙනෙකුට මෙහෙට ආවම අපේ නටබුන් විදිහට නරඹන්නපොඩි සංරක්ෂණයක් කරලා දෙන්න කියලා.

දැන් මහවැලියේ ජලාශය අලුතින් නිර්මාණය වුණාට, ඒවාට වැඩිපුර දායක වුණේ වාරිමාර්ග ඉංජිනේරුවරු. ඒ අය හදපු පරාක්‍රම සමුද්‍රය, ඉඟිනිමිටිය, සේනානායක සමුද්‍රය සියලු දේවල්වලට අපේ තාක්ෂණය උපයෝගී කර ගත්තා. එහිදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් කරපු කැපවීම අපි සිහිපත් කරනවා.

මම ඒකයි මේ අමාත්‍යාංශයට ආපු දවසෙම අපේ ලේකම්තුමා එක්ක එකතුවෙලා වාරිමාර්ග ජලාශ සීයකට පිරිතක් කිව්වේ. වෙන මොනවටවත් නෙමෙයි. මියගිය අය වෙනුවෙන් යමක් කරන්න, යුතුකමක් විදියට.

අද ඉන්න ඔබත් එදා හිටපු අයත් විශාල කැපවීම් කරලා තියෙනවා. අනිත් එක අපි පටන් ගැනීමේදී දන්නවා, නිකං භූමියක් කැළයක් නිකම් ගලාගෙන යන ජලයක් හරස් කරලා මේ සිතුවිල්ල ඇතිකරගෙන මේක අලුත්ම නිර්මාණයක් බවට පත් කිරීමට ලොකු වෙහෙසක් දරන්න වෙනවා.

ඒ සියලු දේවල් කරලා, ඒ ශක්තිය නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා, අද රටේ කෘෂිකර්කර්මාන්තයට ලොකු ශක්තියක් වෙන්න.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.