ධීවරයින් සඳහා හදිසි උපදෙස් මාලාවක් – පිළිපැදීම අනිවාර්යයි

Share

අයහපත් කාලගුණ තත්ත්වය ලබන 24 දින දක්වා පැවතිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බැවින් ධීවර රැකියාව සඳහා යන සියළු ධිවරයින් වෙනුවෙන් හදිසි ආරක්‍ෂක උපදෙස් මාලාවක් අද(22) සිට ලබාදීමට කටයුතු කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම උපදෙස් මාලාව පිළිපැදීම අනිවාර්ය බවයි.

අයපත් කාලගුණ තත්ත්වය හමුවේ මුහුදු යන ධිවරයින්ගේ ජිවිත ආරක්‍ෂාව වෙනුවෙන් මෙම ආරක්‍ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කල බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

පැවති කාලගුණ තත්ත්වය සහ එම කාලගුණ තත්ත්වයට මැදිව ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ සිට මාලදිවයින වෙත යොමු කළ ධිවරයින්ගේ තත්ත්වය සහ ඉදිරි කාලගුණ තත්ත්වය මත ගතයුතු ආරක්‍ෂක ක්‍රමවේද පිලිබදව අදාළ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් කරුණු සොයාබැලූ දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම උපදෙස් මාලාව නිකුත් කිරීමට සෝදිසි මෙහෙයුම් අංශය කටයුතු කරණු ලැබ ඇත.

මේ පිළිබද මාධ්‍යට අදහස් දැක් වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා,

“අයහපත් කාලගුණ අවදානම තවම තුරන් වෙලා නැහැ. මේ නිසා සියළු ධිවරයින් තවදුරටත් කාලගුණ අනතුරු ඇගවීම් පිළිබද අවධානයෙන් සිටිය යුතුයි. ඒ වගේම අද උදේ මම කරුණු විමසුවා අපේ සෝදිසි මෙහෙයුම් අංශයෙන්.

පැවති අයහපත් කාලගුණ තත්වයට මැදිව සිටි බහුදින ධිවර යාත්‍රා සංඛ්‍යාව 20 ක් බව නැවතත් තහවුරු වුණා. මාලදිවයන මුහුදු ප්‍රදේශයට යොමුකළ ඒ යාත්‍රා 20 න් 7 ක් එරට කුරුදුබිහි ධීවර වරායේ තිබෙනවා. තවත් බහුදින යාත්‍රා 12 ක් එරට මුහුදු ප්‍රදේශයේ තියෙනවා.

අපිට අද උදේ දැනගන්න ලැබුනා එම බහුදින යාත්‍රා 12 නැවත ලංකාව බලා පිටත්වීමට සුදානම් වෙනවා කියලා. අපි වහාම උපදෙස් දුන්නා පැවති අවදානම තවම අවසන් නැති නිසා උපදෙස් පිළිපදින්න කියලා.

ඊට අමතවර පපුවේ ආබාධයකට ලක් වූ ධිවරයෙකු සහිත යාත්‍රාවක් අපි මාලදිවයිනට යොමුකර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළා. වෛද්‍ය වරුන්ගේ නිගමය ඔහුට හදවත් රෝගී තත්වයක් නැති බවයි. ඔහුට ගැස්ට්‍රයිටිස් රෝග තත්වය පවතින බව අනාවරණය වුනා.

ඒ අනුව මාලදිවයිනට යොමු කල බහුදින යාත්‍රා 20 තමයි ඒ. නමුත් මෙම සංඛ්‍යාව 44 බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙනිච්චා. ඒ නිසා නිරතුරුව නිල තොරතුරු පමණක් විශ්වාස කරන්න. ඒ වගේම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ පැවති අයහපත් කාලගුණ තත්වය ලබන 24 දක්වා පවතිනව කියලා .

ඒ නිසා අපි සියළු ධිවරයින් සදහා හදිසි උපදෙස් මාලාවක් අද නිකුත් කළා . ”

එම උපදෙස් .

01 ධිවර රැකියාව සඳහා යන සියළු ධිවරයින් ජිවිත ආරක්‍ෂක කබා පැළද සිටීම අනිවාර්ය වේ.

02 ගුවන් විදුලි පණිවිඩ යන්ත්‍ර ක්‍රියාත්මක කර තිබීම අනිවාර්යය.

03 වෙනත් රටවල මුහුදු ප්‍රදේශවලට ඇතුළු වීමෙන් වැලකි සිටිය යුතුය.

04 නොදැනුවත්ව හෝ වෙනත් රටක මුහුදු ප්‍රදේශයකට ඇතුළු වුයේ නම් එය දැනගත් වහාම ආසන්නම සෝදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත කඩිනමින් දැනුම් දීම.

05 අත්‍යවශ්‍ය බෙහෙත් ළග තබා ගැනීම අනිවාර්යය.

06 සෑම පැය දෙකකට වරක් ගොඩබිම සමඟ සබදතා පවත්වා ගැනීම අනිවාර්යය.

මෙම උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙස සියළු ධිවර ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එය ධිවර ජනතාවගේ ආරක්‍ෂාව සදහා ඉතාම වැදගත් බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේය.

Read more

Local News