මෙරට පුරුෂ පාර්ශවයේ පරිගණක සාක්ෂරතාව ඉහළ මට්ටමක

Share

ජනලේඛන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ මෙරට පුරුෂ පාර්ශවයේ පරිගණක සාක්ෂරතාව ඉහළ මට්ටමක පවතින බවයි.

රටෙහි සංවර්ධනය උදෙසා වන රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමට සහ පුද්ගලික අංශයේ ආයෝජනයන් පුළුල් කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ කාලෝචිත හා නිවැරදි තොරතුරු අත්‍යාවශ්‍යවේ. මෙම තොරතුරු ලබා දීම සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පරිගණක සාක්ෂරතාව පිළිබඳ සමීක්ෂණ කිහිපයක් 2004, 2006, 2007, 2009, 2014, 2015, 2016 වසරවලදී සිදුකර ඇති අතර 2017 වසරේ පළමු මාස 06 තුල සිදු කල සමීක්ෂණයේ සංක්ෂිප්ත වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

වයස අවුරුදු 05 හා 69 අතර පුද්ගලයින්ගේ ඇස්තමේන්තු කරන ලද පරිගණක සාක්ෂරතා අනුපාතය 2017 මුල් මාස 06 තුල 28.3% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා පැවසීය.

සියයට 41.1 ක වැඩිම පරිගණක සාක්ෂරතාව වාර්තා වී ඇත්තේ, නාගරික අංශයේ පදිංචි පුද්ගලයන්ගෙන් වන අතර ග්‍රාමීය හා වතු අංශවල පරිගණක සාක්ෂරතා අනුපාත පිළිවෙලින් 26.5% හා 9.5% වේ.

සමීක්ෂණයේ සොයා ගැනීම්වලට අනුව පුරුෂ පක්ෂය තුල පරිගණක සාක්ෂරතාව 30.7% ක් වන අතර ස්ත්‍රී පක්ෂය තුල සාක්ෂරතාවය 26.1%ක් වේ. සියළුම වයස් කාණ්ඩ පිළිබඳ සලකා බැලීමේදී වයස අවුරුදු 15 සහ 19 අතර පුද්ගලයින්ගෙන් ඉහළම පරිගණක සාක්ෂරතා අනුපාතය වන 60.7% ක් වාර්තා වී ඇත. අධ්‍යාපන මට්ටම සලකා බැලීමේදී වැඩිම පරිගණක සාක්ෂරතා අනුපාතය වන 71.2% ක් අ.පො.ස. (උ.පෙළ) හා ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලැබූ පුද්ගලයන්ගෙන් වාර්තා වේ. ඉංග්‍රීසි දැනුම ඇති අය අතර පරිගණක සාක්ෂරතාව 71.1% වන තරම් ඉතා ඉහළ ප්‍රතිශතයක පවතින බව සමීක්ෂණයෙන් තවදුරටත් අනාවරණය වේ.

“ඩිජිටල් සාක්ෂරතාවය” ශ්‍රී ලංකාව සඳහා අළුතින් හඳුන්වා දුන් දර්ශකයක් වේ. වයස අවුරුදු 5 සහ 69 අතර පුද්ගලයෙකුට පරිගණක, ලැප්ටොප්, ටැබ්ලට් හෝ ස්මාට් දුරකථන භාවිතා කිරීමේ හැකියාව ඇත්නම් ඔහු/ඇය ඩිජිටල් සාක්ෂරතාවක් ඇති පුද්ගලයෙකු ලෙස සලකයි. ශ්‍රී ලංකාව සඳහා  ඩිජිටල් සාක්ෂරතා අනුපාතය 38.7% ක්  ලෙස ඇස්තමේන්තු කර ඇති අතර පුරුෂ පක්ෂය සහ ස්ත්‍රී පක්ෂය අතර ඩිජිටල් සාක්ෂරතාවය පිළිවෙලින් 42.5% හා 35.2% ක් වේ. ඩිජිටල් සාක්ෂරතාවය නාගරික අංශයේ 54.5% ක් වන අතර ග්‍රාමීය හා වතු අංශ සඳහා පිළිවෙලින් 36.4% හා 16.4% ක් වේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා තවදුරටත් පැවසුවේ සියළු දිස්ත්‍රික්ක අතරින් අන්තර් ජාල භාවිතා කරන වැඩිම ජනගහන ප්‍රතිශතය (44.6%) කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් 4.9% ක අඩුම ප්‍රතිශතය බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත්ය.

Read more

Local News