දුම්රිය කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට ඩොලර් මිලියන 160ක්

Share

දුම්රිය මෙහෙයුම් නවීකරණය කිරීම සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් සපයනු ලබන සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් දුම්රිය අංශයේ වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා රජය ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 160 ක ණය ආධාර ලබාගැනීමට තීරණය කර ඇත.

ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු ආයෝජන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 192 ක් වන අතර මෙම ව්‍යාපෘතිය සඳහා රජයේ දායකත්වය ඇමරිකානු ඩොලර් මිලියන 32 කි.

දිගුකාලීන අංශ සංවර්ධන සැලැස්මක ආරම්භක ආයෝජනය වන දුම්රිය කාර්ය්‍යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ඔස්සේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම්, නඩත්තු, ආරක්ෂාව, නිපුණතා සංවර්ධනය සහ තාක්ෂණික ධාරිතාව වැඩි දියුණු කිරීම මගින් රටේ දුම්රිය පද්ධතිය නවීකරණය කිරීමට මූල්‍යාධාර සපයනු ඇත.

මෙම ව්‍යාපෘතිය මගින් නවීන බහු-චැනල් – කඩදාසි, ජංගම සහ ස්මාර්ට් කාඩ් – ටිකට්පත් පද්ධතියක් ලබා දෙන අතර අති නවීන විදුලි සංදේශ පද්ධතියක් ද ස්ථාපනය කෙරෙන අතර එය 1985 දී ස්ථාපනය කරන ලද මුල් පද්ධතිය වෙනුවට ආදේශ කරනු ඇත.

නව විදුලි සංදේශ පද්ධතිය දුම්රිය රියදුරන් සමඟ ද්වි-මාර්ග සන්නිවේදනය සඳහා පහසුකම් සැලසීම මගින් දුම්රිය ප්‍රමාද වීම අඩු කරනු ඇත.

මෙම ව්‍යාපෘතිය මඟින් නව මෙහෙයුම් මූලස්ථානයකට සහ දුම්රිය පාලන මධ්‍යස්ථානයකට මුදල් යෙදවීම, ධාවන පථ හා පෙරළීමේ කොටස් නඩත්තු කිරීම සඳහා යටිතල පහසුකම් සහ උපකරණ සැපයීම සහ දුම්රිය ආරක්ෂාව වැඩි දියුණු කිරීම සිදු කෙරේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානය ද වැඩිදියුණු කෙරෙන අතර අනාගත අභ්‍යාසලාභීන්ට නවීන දුම්රිය තාක්ෂණයන් පිළිබඳ නවීකරණය වූ පාඨමාලා ඔස්සේ දැනුම ලබා දීම සිදු කෙරෙනු ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්එච්.එස්. සමරතුංග මහතා සහ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකා නේවාසික මෙහෙවර භාරව කටයුතු කරන නිලධාරී මංජුලා අමරසිංහ මහත්මිය 2019 අගෝස්තු 20 වන දින ඇ.ඩො. මිලියන 160 ක් ලබාගැනීම සදහා මුදල් අමාත්‍යාංශයේදී ණය ගිවිදුම් අත්සන් කිරීමට නියමිතය.

Read more

Local News