පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් – රහසිගත තීරණය කථානායකට

Share

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පණත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය කථානායකවරයා වෙත දැනුම් දෙන බව නිවේදනය කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සහ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත යන මහත්වරු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම් ප්‍රසන්න ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත්තේය.

විභාගය අවසන් කිරීමෙන් පසුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ සිය තීරණය කතානායකවරයා වෙත යොමු කරන බවයි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළාත් සභා වෙත පැවරී ඇති බලතල නීතිවිරෝධි ලෙස පැහැර ගැනීමක් සිදු වන බවයි.

මීට අමතරව දකුණු පළාත තුළ තිබෙන කෘෂිකාර්මික ඉඩම්, පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ඉඩම් සහ ආගමික සිද්ධස්ථාන ද අත්පත් කර ගැනීමේ අත්තනෝමතික බලතල යෝජිත පනත් කෙටුම්පත තුළ යෝජනා කර තිබෙන බවයි ඔවුන් චෝදනා කරයි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති කීපයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News