ඇවන්ගාඩ් සභාපති නැතුව සාක්ෂි මෙහෙය වන බව අල්ලස් කොමිසම දැනුම් දෙයි

Share

රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලස් වශයෙන් දීම හා ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින නඩුවක දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා නොමැතිව එම නඩුව විභාග කිරීම සඳහා සාක්ෂි මෙහෙය වීමට බලාපොරොත්තු වන බව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ නඩුව අද(04) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහින්ද මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී එම නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර ඇති වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා විදේශ ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබන හෙයින් ඔහුගේ රෝගී තත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා ඔහුගේ නිතිඥවරු විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට කියා සිටියේ විත්තිකාර සේනාධිපති නොමැතිව නඩුව පවත්වාගෙන යාම සඳහා තමන් ඉදිරියේදී සාක්ෂි මෙහෙය වීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව නඩුව නැවත ලබන 17 දා කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින අදාල සාක්ෂි මෙහෙයවීම සිදුකර ලෙස අල්ලස් කොමිසමට දැනුම් දුන්නේය.

පසුගිය රජය සමයේ ගාලූ වරාය ආසන්නයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුවෙන් එක් චෝදනාවක් එල්ල කර තිබේ.

එම රුපියල් ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබාගත් බවට විත්තිකාර විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට ද මෙම නඩුවෙන් තවත් චෝදනාවක් එල්ල කර ඇත.

Read more

Local News