පොළොන්නරුව පර්යේෂණාත්මක ශාස්ත්‍රීය සංග්‍රහය ජනපති අතින් පාසල් සිසුන්ට

Share

පොළොන්නරුව නරපති යුගයේ සිට ජනපති යුගය දක්වා ශාස්ත්‍රීය සංග්‍රහය පොළොන්නරුව පාසල් සිසුන්ට සහ ජනතාවට පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පොළොන්නරුවේ දී සිදු විය.

ග්‍රන්ථය පාසල් සිසුන්ට පිළිගැන්වීම සංකේතවත් කරමින් දිස්ත්‍රික්කයේ විදුහල් කිහිපයක විදුහල්පතිවරුන් වෙත එය භාරදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පොළොන්නරුවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. වසර එකසිය හැට හයක් පමණ පැවති ඓතිහාසික පොළොන්නරු රාජ්‍ය බිඳවැටීමෙන් පසුව ජන ශූණ්‍ය ප්‍රදේශයක් වූ පොළොන්නරුව, මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භයත් සමඟ යළිත් වරක් ජනාවාස විය. එමෙන්ම මෙම ප්‍රදේශය ජාතියට බත සපයන සශ්‍රීක භූමි භාගයකින් හෙබි ඓතිහාසික වටිනාකම් රැසක් සහිත පළාතකි.

මෙම ප්‍රදේශය ආශ්‍රිත ව ගොඩනැගුණු අනුස්මරණීය ඉතිහාසය සහ පසුකාලීන ක්‍රමික සංවර්ධනය මුද්‍රිත ප්‍රකාශනයක් ලෙස එළිදක්වමින් “පොළොන්නරුව” ශාස්ත්‍රීය සංග්‍රහය සම්පාදනය කොට තිබේ.

නව දැනුම උකහා ගැනීමත්, අතීතය හා සබැඳි වර්තමානය තරණය කොට සක්‍රිය අනාගතයත් කරා එළැඹීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අපේක්ෂාවන් ඉටු කරමින් මෙම ග්‍රන්ථ සම්පාදනය කොට ඇත.

Read more

Local News