අන්තර්ජාතික නයිට්‍රජන් කළමනාකරණ පද්ධතියෙන් ජනාධිපතිට පැසසුම්

Share

අන්තර්ජාතික නයිට්‍රජන් කළමනාකරණ පද්ධතියේ අධ්‍යක්ෂ මහාචාර්ය මාර්ක් සට්න් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසරය සුරැකීම වෙනුවෙන් සිදුකරන කාර්යයන් අගය කරන ලදි.

ශ්‍රී ලංකාවට නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ හඳුන්වාදීමට අඩිතාලම යෙදීමෙන් පසු ඊයේ (09) මහවැලි අධිකාරියේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මහාචාර්ය සට්න් ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිතුමා මෙරට පාරිසරික අමාත්‍ය වීම ද මෙම වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට හේතුපාදක වූ බවයි.

මෙහි මූලික අදියරක් වශයෙන් ඔක්තෝබර් මස 23 හා 24 යන දෙදින තුළ ගෝලීය වැඩමුළුවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.

ඒ සඳහා ලොව තෝරාගත් රටවල පරිසර අමාත්‍යවරුන්, පරිසර විෂය සම්බන්ධව කටයුතු කරන ප්‍රතිපත්ති සම්පාදකයින්, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂතුමිය ඇතුළු කණ්ඩායම, නයිට්‍රජන් කළමනාකරණ පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය සහ දකුණු ආසියානු ව්‍යාපෘතිය නියෝජනය කරන පර්යේෂකයින්, විද්‍යාඥයින්, ගෝලීය සංවර්ධනය/මුල්‍ය ආයතන, හරිත දේශගුණ අරමුදලෙහි විධායක අධ්‍යක්ෂ, ගෝලීය පාරිසරික පහසුකමෙහි නියෝජිතයන්, දේශීය ඥානය පිළිබඳ විශේෂඥයන්, ව්‍යාපාරික ප්‍රජාව, දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සහභාගි වීමට නියමිතය.

Read more

Local News