සමහර ඇමතිවරු පිරිමි භාර්යාව අතින් අල්ලා කාර්යාලයට යන්න කැමතියි

Share

අද ඇතැම් දේශපාලනඥයින් සිංහල බෞද්ධ මූලිකත්වය පිළිබඳ ප්‍රශ්න කරන තත්ත්වයට පත්ව ඇති බව පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

ඊයේ(14) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැති උත්සවයකදී උන්වහන්සේ මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ පැවසීය.

“අද වීරයන්ගේ නම් හූණන්ට දාන තැනට පත්වෙලා. ඒවා දරාගෙන ඉන්න සිද්ධ වෙලා.

අද ඇතැම් දේශපාලනඥයින් සිංහල බෞද්ධ මූලිකත්වය පිළිබඳ ප්‍රශ්න කරන තැනට පත් වෙලා.

සංස්කෘතික සෝදාපාළුව ගැන කතා කරන්න අපේ සංස්කෘතික ඇමතිවරු වැඩ කරනවද?

සමහර ඇමතිවරුන් ඉන්නවා සිය පිරිමි භාර්යාව අතින් අල්ලා කාර්යාලයට යන්න කැමති අය.

ඔවුන්ට මේ මහා සංස්කෘතියේ තියෙන බෞද්ධ ලක්ෂණ දරාගන්න බෑ. බෞද්ධ සමාජයත් සමඟ සමාජය අගයන ඇගයුම් ප්‍රමාණයක් තියෙනවා. ඒවා ඉදිරියේදී ඒ අයට ඒ දේවල් කරන්න බෑ.

ඒ නිසයි කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්න අවසර දෙන්න අණපනත් සකස් වෙන්නේ.

එතකොට කොහෙටද මේ ගහගෙන යන්නේ? නැවතත් වහල් බවින් නිදහස් විය යුතු කාලය ඇවිත්.”

එම අවස්ථාවේ අදහස් දැක්වු කඩවත මාවරමන්ඩිය සිරි ගෞතම විහාරස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය පොල්පිති මූකලානේ පඤ්ඤාසිරි හිමි පැවසුවේ මතට තිත තැබීමට අවශ්‍යනම් සියලු ආකාරයේ මත් ද්‍රව්‍ය මෙරටින් තුරන් කළ යුතු බවයි.

Read more

Local News