2017 වර්ෂයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි 8548ක්

Share

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට 2017 වර්ෂයේ ජනවාරි මස පළමු වැනිදා සිට දෙසැම්බර් මස අට වැනිදා දක්වා ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 8548ක් වාර්තා වී තිබෙන බව ජාතික ළමා ආරක්ෂ අධිකාරිය පවසයි.

මින් බොහොමයක් පැමිණිලි වාර්තා වී ඇත්තේ ළමයින්ව කෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙනි. එම සංඛ්‍යාව 2037කි.

අනිවාර්ය අධ්‍යාපනය ලබානොදීම සම්බන්ධ පැමිණිලි 1298ක් වාර්තා වී ඇත. ලිංගික අතවර කිරීම් පිළිබඳ පැමිණිලි 481ක්ද, බරපතල ලිංගික අපයෝජන 284ක්ද, ස්ත්‍රී දූෂණ පිළිබඳ පැමිණිලි (වයස අවුරුදු 18ට අඩු) 322ක්ද, වාර්තා වී ඇත. ළමා හා යෞවන ආඥා පනතට අනුව ළමුන් නොසළකා හැරීමට අදාළ පැමිණිලි 358ක් වාර්තා වී ඇති අතර, ළමා ශ්‍රමිකත්වට අදාළ පැමිණිලි වාර්තා වී ඇති සංඛ්‍යාව 246කි. කායික, මානසික, ලිංගික හා නොකසලා හැරීම ආදී වශයෙන් වන සිව්වැදෑරුම් අපයෝජන පිළිබඳ පැමිණිලි මෙලෙස වාර්තා වී ඇත.

වැඩිපුරම ළමා අපයෝජන සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව1232කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 925ක්ද, කලුතර දිස්ත්‍රිකයෙන් පැමිණිලි 550ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 647ක්ද, රත්නපුර දිස්ත්‍රික්යෙන් පැමිණිලි 490ක්ද, ගාල්ල දිස්ත්‍රිකයෙන් පැමිණිලි 564ක්ද, යාපනය දිස්ත්‍රිකයෙන් පැමිණිලි 177ක්ද, වවුනියාව දිස්ත්‍රික්යෙන් පැමිණිලි 122ක්ද, මඩකලපුව දිස්ත්‍රික්යෙන් පැමිණිලි 170ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 125ක්ද, කිළිනොච්චිය දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 117ක්ද, වාර්තා වී ඇත.

ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශේෂ දත්ත පද්ධතියක් පවත්වාගෙන යමින් සිටින අතර, අදාළ පැමිණිලි පසු විපරම් කිරීමද කඩිනමින් සිදුකරයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත මෙම පැමිණිලි වාර්තා වූ පසු ප්‍රථමයෙන් එය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලාත්මක  කිරීමේ අංශය වෙත යොමු කරනු ලබයි. අනතුරුව එය පොලිසිය, කම්කරු දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළුව අදාළ පාර්ශවයන් වෙත යොමු කරනු ලබයි.

විශේෂයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි පසුවිපරම් කිරීමේ යාන්ත්‍රණය මා විසින් හා  ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අංශය මඟින් අධීක්ෂණය කරනු ලබන අතර, ළමා අපයෝජන පැමිණිලි කඩිනමින් විභාග කර අවසන් කිරීම හා පීඩාවට පත් පාර්ශවයන්ට සහන සැපයීමේ කටයුතු කඩිනමින් සිදු කිරීම සඳහා වර්තමානය වන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය, නීති අංශය, නීතිය බලාත්මක කිරීමේ අංශය හා මනෝ සමාජීය අංශය තවදුරටත් ශක්තිමක් කිරීමට කටයුතු කරමින් සිටී.

මෙම ක්‍රියාවලියේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අපේක්ෂාව වන්නේ ළමා අපයෝජන හේතුවෙන්  වරදකරුවන් වූ පුද්ගලයන්ට දඩුවම් ලබාදී වින්දිත දරුවන් සමාජ ගත කිරීමට අවශ්‍ය වටපිටාව සලසා දීමයි. ඒ  සඳහා මහජනතාව ඇතුලු සියළු පාර්ශවයන්ගේ සහයෝගය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලා සිටියි.

Read more

Local News