මෙට්‍රික් ටොන් 30000ක ආරක්ෂිත යූරියා තොගයක්

Share

රජයේ ලක්පොහොර සහ කොමර්ෂල් පොහොර සමාගම්හි ආරක්ෂිත යූරියා තොගයක් පවත්වා ගෙන යන ලෙස කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සභාපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

හදිසි පොහොර අවශ්‍යතාවයකදී මෙන්ම තොග ආනයනයකදී වන ප්‍රමාද වීම් සඳහා මෙම තොගය භාවිතය ගත හැකි බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ලක් පොහොර සමාගමෙහි වෘත්තිය සමිති කිහිපයක් සමඟ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මෙම තීරණයට එලඹී ඇත.

ඒ අනුව යූරියා මෙට්‍රික්ටොන් 30,000ක ආරක්ෂිත තොග සංචිතය ලක් පොහොර සමාගමට ටොන් 15,000ක්ද කොමර්ෂල් පොහොර සමාගමට ටොන් 15,000ක් වශයෙන් මෙම තොගය බෙදී යනු ඇත.

එසේම ඉදිරියේදී පොහොර තොග ඇනවුම ලැබු සැනින් නැවෙන්ම පොහොර තොග ලොරි රථ සඳහා නිකුත් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දී තිබේ.

ගබඩා පහසුකම් වෙනුවෙන් වැය කරන මුදල මේ ක්‍රමවේදය යටතේ ඉතිරි වන බවත් ගොවියාට පොහොර ප්‍රමාදයකින් තොරව ලබා ගැනීමට මෙමඟින් අවස්ථාවඋදා වන බව අමාත්‍යවරයා කීය.

දැනට පොහොර ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ලොරි රථ සංඛ්‍යාවදවැඩි කර ගොවිජන සේවා මධ්‍යස්ථානයන්ට පොහොර ලබා දිය යුතු බව අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ලක්පොහොර සමාගම විසින් පොහොර බෙදා හැරීමේදී පැන නඟින ගැටළු විසදීමට ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක් ආරම්භ කර ඇති බවත් එමඟින් පැය 24 පුරාවටම ගොවීන්ගේ පොහොර ගැටළු විසදීමට තම සමාගම ඉදිරියේදී කටයුතු කරන බව ලක් පොහොර සමාගමේ සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි මහතා සඳහන් කරන ලදී.

ඒ අනුව ඉදිරි සතියේ සිට 0113 036 666 දරන දුරකථන අංකය ජනතාවට විවෘත වනු ඇති බව සභාපතිවරයා පැවසීය.

Read more

Local News