වයඹ පළාතේ උපාධිධාරින් 1400 කට ජනපති අතින් ගුරු පත්වීම්

වර්තමාන ගුරුවරයා, ගුරු භූමිකාවට සුදුසු නිර්මාණශීලී බවකින් සහ මනා පෞරුෂයකින් යුතු ව ගොඩනැගීමේ වගකීම ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

මෙරට ගුරු සේවයේ නිරත දෙලක්ෂ අසූ දහසක් පමණ වන ප්‍රමාණයෙන් 10% ක් පමණ ගුරු සේවයට නුසුදුසු බව අධ්‍යාපන අමත්‍යාංශය මගින් සිදු කළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ විභාග සහතික ලැබුව ද ගුරු වෘත්තියට අවශ්‍ය ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය නොමැති වීම ඊට හේතු වී තිබෙන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ අද (18) පෙරවරුවේ කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු වයඹ පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

උපාධිධාරිහු 1400ක් වෙනුවෙන් ගුරු පත්වීම් ප්‍රදානය කිරීම මෙහි දී සිදු විය.

ජනාධිපතිතුමා අතින් සංකේතාත්මක ව උපාධිධාරින් සිය දෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්විණි.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ඉගැන්වීමෙන් පමණක් ගුරුවරයාගේ කාර්යභාරය නිම නොවන අතර, පාසල තුළදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ වගකීම ද පන්තිභාර ගුරුවරයාට පැවරෙන බවයි.

එමෙන් ම දරුවන් නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යන විට පංතිකාමරයේ අභියෝගවලට ද සාර්ථක ව මුහුණදිය හැකි අන්දමින් ගුරුවරයාගේ දැනුම ද යාවත්කාලීන වීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා පැහැදිලි කළේය.