ලංකාවේ හෝ ජාත්‍යන්තරව කිසිදු චෝදනාවක් මට විරුද්ධව එල්ල වී නෑ

Share

ක්‍රිකට් ක්‍රීඩාවෙන් වංචා, දූෂණ සිදුකළ බවට තමාට විරුද්ධව ලංකාවේ හෝ ජාත්‍යන්තරව කිසිදු පරීක්ෂණයක් හෝ චෝදනාවක් එල්ල වී නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.

ක්‍රීඩා අමාත්‍යාංශය දේශපාලන තීන්දු අනුව ක්‍රීඩාවලට මැදිහත් වී තිබෙන බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා,

“අපේ ක්‍රීඩකයන් තරඟයක් පාවා දුන්නු බවට කිසිම වාර්තාවක් අයි.සී.සී. එකේ නැහැ. තරඟ පාවාදෙනවා කියලා ලංකාවේ කාර්යාලයක් දාන්න කීමෙන් රට දූෂිතයි කියන එක ලෝකයට කියන්න සිදුවුණා. කිසිම තැනක ක්‍රීඩකයෙක් හොරකම් කරලා, නැත්නම් තරඟයක් පාවාදුන්නා කියලා අපි විශ්වාස කරන්නෙ නෑ.

ක්‍රිකට් පාලක මණ්ඩලය දැන් පවත්වාගෙන යන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්. දේශපාලන තීරණ මත නිලධාරීන් ඉවත් කර තිබෙනවා. ඡන්දයෙන් තෝරා පත් කරගත් අයට ටික කාලයක් දීලා බලන් හිටියොත් ක්‍රියාත්මක වේවි.

අවුරුදු 2 ½ ක කාලයක සිට මම ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ කරන්න ගියේ නෑ. 2018 මැයි මාසයේ ඉවත් වුණා. ගිය වර නිලවරණයට ඉදිරිපත් වුණේ නෑ. මම දේශපාලනයේ යෙදී සිටින අයෙක් නිසයි ඉවත් වුණේ.

අපි පරිපාලනයට ආවට පස්සෙයි දේශපාලනයට ආවේ. කිසිම පරීක්ෂණයක වංචාවක් ගැන මට චෝදනා නැහැ. ලංකාවේ හෝ ජාත්‍යන්තර වංචාවකට මගේ නම ගෑවිලා නැහැ” යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

Read more

Local News