ඇවන්ගාඩ් සභාපතිගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Share

ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇප මත මුදාහරින ලෙස කරන ලද ඉල්ලීමක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද (08) ප්‍රතික්ෂේප විය.

ගාලු වරාය ආසන්නයේ හික්කඩුව මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ගිනිඅවි සහ ජීව උණ්ඩ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින විත්තිකරුවකු වූ ඇවන්ගාර්ඞ් මැරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇප මත මුදාහරින ලෙස කරන ලද ඉල්ලීමක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද ප්‍රතික්ෂේප කර ඇත.

ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය සිදු කර ඇත.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ප්‍රකාශ කළේ මෙම විත්තිකරු ඇප මත මුදා හැරීමට තරම් සුවිශේෂ කරුණු කිසිවක් අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොමැති බවයි.

ඒ අනුව විත්තිකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළ බව ද විනිසුරු පටබැඳිගේ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව නඩුව නැවත දෙසැම්බර් මස 3 වනදා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ සිටින විත්තිකාර නිශ්ශංක යාපා සේනාධිපති මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා කිසිදු අවස්ථාවක අධිකරණය මඟහැර අධිකරනයෙන් පළාගිය පුද්ගලයෙකු නොවන බව සඳහන් කර සිටියේය.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ද මේ වන විට අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබෙන බැවින් තම සේවාදායකයා ද ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදාහරින ලෙසයි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එම ඉල්ලීමට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා විත්තිකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණය දැනටමත් තීන්දුවක් ලබා දී ඇති නිසා එම තීන්දුව නැවත සලකා බැලීමට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට හැකියාවක් නොමැති බව ප්‍රකාශ කළේය.

එබැවින් විත්තිකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

2014 වසරේ අප්‍රේල් මස 7 වනදා සහ 2015 වසරේ ඔක්තෝබර් මස 6 වනදා අතර කාල සීමාව තුළ හික්කඩුව මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් හෝ නිසි අවසර පත්‍රයක් නොමැතිව ස්වයංක්‍රීය ගිනි අවි 816ක් සහ උණ්ඩ 200935 ක් තබා ගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව චෝදනා 7574 ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.

Read more

Local News