ජනතාව සිහි බුද්ධියෙන් ඡන්දය පාවිච්චි කළ යුතුයි

Share

වත්මන් ආණ්ඩුව ලබා දුන් අසීමිත නිදහස හා ඊට පෙර පැවැති නිදහස කොපමණදැයි සංසන්දනය කර ජනතාව ජනාධිපතිවරණයේ දී සිහි බුද්ධියෙන් කල්පනා කර ඡන්දය පාවිච්චි කළ යුතු බවත්, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එසේ නොකළහොත් එහි ප්‍රතිඵලය ද ජනතාවටම භුක්ති විඳීමට සිදුවන ඇති බව ද ඔහු කියා සිටි‍‍‍‍ෙය්ය.

අද භුක්ති විඳින නිදහස වෙනස් වූ දිනෙක ජනතාවට තමන් අත්විඳින ලද නිදහස කොපමණදැයි වැටහෙනු ඇති බව ද මහලේකම්වරයා ප්‍රකාශ කළේය.

මහලේකම්වරයා එසේ සඳහන් කළේ එක්සත් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංසදයේ නියෝජිත පිරිසක් සමඟ සිදු කළ සාකච්ඡාවකදී ය.

තරුණ පරපුරට අවශ්‍ය රැකියා ජනිත කිරීම රජයක වගකීම බවත්, ශ්‍රී ලංකාවට පමණක් සීමා වන හුදකලා වූ තරුණ පරපුරක් නොව සීමා මායිම් ඉක්මවා ගිය විශ්වයටම ගැලපෙන තරුණ පරපුරක් බිහි කිරීම සඳහා රජය කටයුතු කරගෙන යන බවත්, හෙතෙම සඳහන් කළේය.

වසර පහකට ආසන්න කාලයේ සිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයකින් අපේක්ෂා කළේ 13 වසරක සහතික කළ අධ්‍යාපනයෙන් පසු දේශීය රැකියා වෙළඳපල පමණක් නොව ලෝක රැකියා වෙළඳපලට ද ගැළපෙන පුහුණු ශ්‍රමිකයන් පිරිසක් ජනනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණ විෂයයන් හඳුන්වා දීමටයි. මෙම විෂයයන් සඳහා විධිමත් න්‍යායික ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගම් රාශියක් ඉදිරිපත් ව සිටින බවත්,

මෙම පුහුණුව ලද සිසුන් රැකියා සඳහා බඳවා ගැනීමට ද එම සමාගම් සූදානමින් සිටින බවත් පැවසූ මහ ලේකම්වරයා, එහෙත් විධිමත් පුහුණුවෙන් හා උසස් පෙළ විභාගයට පෙනී සිටිමෙන් අනතුරුව පමණක් ඔවුන්ට මෙම අවස්ථා ලබාදිය හැකි බවට අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමා නිලධාරීන් ට උපදෙස් දුන් බවත් පැවසුවේය.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පමණක් පුහුණු ශ්‍රමිකයන් නොමැතිවීම නිසා රැකියා ඇබෑර්තු 20,000 කට වඩා පවතින බවත් මෙහිදී මහලේකම්වරයා අවධාරණය කළේය.

රටේ අනාගත සැලසුම් කෙසේ සකස් විය යුතුදැයි යෝජනා සහිත ලියවිල්ලක් ලබා දෙනවා නම් එය ප්‍රතිපත්ති සම්පාදනය කරන අවස්ථාවේ දී යොදා ගත හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේ සරසවි සිසුන් යොමු කළ ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.

යුගයට ගැළපපෙන අධ්‍යාපන පනතක් අලුතින් සකස් කර තිබෙන බවත්, ගුරුවරුන් බඳවා ගැනීමේ දී හා ගුරු පුහුණුවේ දී  ලෝකයේ දියුණු රටවල අනුගමනය කරන ක්‍රමවේද භාවිත කිරීමේ අවශ්‍යතාවත් සඳහන් කළ මහලේකම්වරයා, ජනපතිවරණයෙන් පසු එළැඹෙන ඉදිරි අවුරුදු පහේදී මෙරට අධ්‍යාපනයේ දැවැන්ත පරිවර්තනීය වෙනස සිදු කළ හැකි වනු බවට විශ්වාසය පළ කළේය.

වර්තමාන ආණ්ඩුව කෙටි කාලයක් තුළ සිදු කරන ලද සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කළ මහලේකම්වරයා, අධ්‍යාපනය, සෞඛ්‍යය, මහාමාර්ග අමාත්‍යාංශවලින් සිදු කළ දැවැන්ත ව්‍යාපෘති අතර හතලිස් පන්ලක්ෂයක් වන පාසල් දරුවන්ට සුරක්ෂා රක්ෂණය ලබාදීම, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ නව පාසල් ගොඩනැගිලි 3,000 කට ආසන්න ප්‍රමාණයක් ඉදි කිරීම, 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන, ඖෂධ මිල අඩු කිරීම, අධිවේගී මාර්ග තනා නිම කිරීම වැනි  ව්‍යාපෘතිවලින් රටට ලබාදුන් ප්‍රතිලාභ සිහිපත් කළේය.

ශිෂ්‍ය නියෝජිතයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහලේකම්වරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“ශ්‍රී ලංකාව යනු, සිංහල බෞද්ධ රටක් වුවත් සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ අන්‍ය ජාතීන් හැම දෙනාම ජිවත් වුණා. එහෙත් අද ජාතිවාදය රට ඉතා නරක තැනකට ගෙන යනවා. එය කූට උපායකින් බලය ලබා ගෙන තම මඩි තරකර ගැනීම සඳහා කරන උපක්‍රමයක් පමණක් මිස බුද්ධාගමට ඇති ඇල්ම  නිසා සිදු කරන්නක් නොවේ. ඔවුන් හැසිරෙන්නේ බුදුන්වහන්සේ දේශනා කරන ලද ධර්මයට අනුව ද නොවේ. තරුණයන් වශයෙන් ඔබ මේ පිළිබඳ බුද්ධිමත්ව සිතා බලන්න.

අනාගත තරුණ පරපුර ගැන සිතා අවශ්‍ය වෙනස සිදු කළ යුතුයි. ඇතැම් දේශපාලන චරිත ඔවුන් මතුපිටින් පෙන්වන චරිත නොවේ. අතීතය දෙස බලන්න. තාජුඩීන් ඝාතනය, වැලිකඩ බන්ධනාගාර සිරකරුවන්  ඝාතනය කිරීම, යොවුන් පෙරමුණේ රොෂාන් චානක වැනි තරුණයන් ඝාතනය කිරීම ආදි සිදුවීම් ගැන කල්පනා කර බලන්න, අද එවැනි දේ සිදුවන්නේ නැහැ.අද උපරිම නිදහසක් හැම කෙනෙකුටම තිබෙනවා. මේ නිදහස වෙනස් වූ දිනෙක ජනතාවට තමන් භුක්තිවිඳින ලද නිදහස කොච්චරදැයි වැටහේවි.

අපේ ආණ්ඩුව පත් කරන ලද විවිධ ආයතනවල සමහර ප්‍රධානීන් පවා විවිධ හේතු නිසා  කරුණු යට ගැසුවා. අපට විශේෂ අධිකරණ පිහිටුවීමට සිදු වූයේ ඇයි ? පවතින නීතියේ දුර්වලකම් හා පවතින අධිකරණ මගින් සිදුකර ගැනීමට අපහසුවීම නිසයි. FCID වැනි ආයතනවල විශ්වාසය නැති වුණේ ඇයි ?  ඒ ආයතනවල අය කරන දේවල් පවා දැන් හෙළි වී තිබෙනවා. ඒවා නැවැත්වීමට හෝ සැඟවීමට අවශ්‍යවූණා නම් විශේෂ අධිකරණ ඇති කරන්න වුවමනාවක් නැහැ. අපටත් අවශ්‍ය වුණේ දඩුවම් ලබාදීමටයි. එහෙත් නොහැකි වුණා. ඒවාට විශේෂ හේතු තිබුණා. වෙනත් රටවල සමහර නායකයන් පවා දඞුවම් වින්දේ අවුරුදු ගණන් ගත වූ පසුවයි. අපිට කරන්න පුඵවන් උපරිම වේගෙන් අපි කටයුතු කළා.

දැන්වීම් ප්‍රචාරණය සඳහා පැවැති කලින් ආණ්ඩුව කෝට් ගණන් මුදල් වැය කළා. අප එසේ කළේ නැහැ. එක්තරා සීමාවකට පමණක් ල්‍රචාරනය සඳහා මුදල් වැය කිරිමට අපේ ආණෙණ්ඩුව තීරණය කළා. ඒ නිසා අපට මේ දැවැන්ත සංවර්ධනය ගැන විශාල ප්‍රචාරයකට අවස්ථාව ලැබුණේ නැහැ.”

Read more

Local News