6500ක පමණ තරුණ තරුණියන් පිරිසකට කෘෂි ව්‍යවසායකත්ව දැනුම

Share

තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට නැවත ආකර්ෂණය කරගැනීම සඳහා නවීන තාක්ෂණික උපකරණ හා මෙවලම් භාවිත කරනු ලබන ආදර්ශ ගොවිපල කීපයක් රට තුළ ස්ථාපනය කර, එමඟින් 6500ක පමණ තරුණ තරුණියන් පිරිසකට කෘෂි ව්‍යවසායකත්ව දැනුම ලබාදීමට රජය සැලසුම් කොට ඇත.

”ආහාර නිශ්පාදන ජාතික වැඩසටහන” යටතේ කාබනික ගොවිතැනට සම්බන්ධ ගොවීන් 15,000ක් පමණ තෝරාගෙන විධිමත්ව කාබනික ගොවිතැනෙහි නිරත වීමට අවශ්‍ය මූලික දැනුම හා පුහුණුව ලබාදීමටත්, ඔවුන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳ පොළට ඉදිරිපත් කිරීමේ දි වැදගත් වන කාබනික කෘෂි නිෂ්පාදන සහතිකය ලබාදීමටත්, එම නිෂ්පාදන අපනයනය කිරීමට පහසුකම් සැලසීමටත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.

එමෙන් ම කාබනික පොහොර යොදා බිම්මල් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අත් දැකීම් සහ දැනුම ඇති විශේෂඥ කණ්ඩායම් චීනයෙන් ගෙන්වා ගෙන තරුණ ගොවීන් 2500කට තාක්ෂණික පුහුණුව ලබාදීමටත්, ඔවුන් වෙත වෙළඳපොළ අවස්ථා සහ මූල්‍ය පහසුකම් ලබාදීමටත් වැඩසටහන් ක්‍රියාත්මක වීමට යෝජනා වී තිබේ.

දේශීය ආහාර නිශ්පාදනය ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළ වෙත අපනයනය කරමින් ඉහළ ආදයමක් ලබගැනීමට මෙරට ගොවීන්ට ඉඩ සැලසීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, සහ සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බි.දිසානායක මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව ඇත.

Read more

Local News