කොලොන්නාව නිමාවේ නව තෙල් ටැංකි සංකීර්ණයක් අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්

Share

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් වසර 40කට පසුව කොලොන්නාව නිමාවේ නව තෙල් ටැංකි සංකීර්ණයක් ඉඳි කිරීම අද (22) ආරම්භ විය. ඒ ඛනිජ තෙල් බෙදා හැරීමේ ජාලයට මහඟු රුකුලක් වන ලෙස, කැබිනට් අනුමැතිය මත එහි ඉඳි කෙරෙන නව තෙල් ටැංකි සංඛ්‍යාව 10කි.

මෙට්ට්‍රික් ටොන් 11 200 පෙට්ට්‍රල් තෙල් ටැංකි 3ක්, මෙට්ට්‍රික් ටොන් 11 900 ගුවන් යානා තෙල් ටැංකියක්, මෙට්ට්‍රික් ටොන් 12 600 ඩීසල් ටැංකියක්, මෙට්ට්‍රික් ටොන් 5 800 ඩීසල් ටැංකි තුනක්, මෙට්ට්‍රික් ටොන් 5 600 භූමිතෙල් ඉන්ධන ටැංකියක් සහ මෙට්ට්‍රික් ටොන් 3 800 ඩීසල් ටැංකියක් ඊට අයත් වේ.

අද කොලොන්නාව නිමාවේදී ආරම්භ කළේ එම ව්‍යාපෘතියයි. එම ව්‍යාපෘතිය යටතේ පළමුවෙන් ඉඳි කෙරෙන පෙට්ට්‍රල් ටැංකිය සඳහා මංගල පස්පිඩැල්ල කැපීම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සුරතින් එහිදී සිදු කෙරිණ.

පැවැති උත්සවය අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ දිනෙන් දින ඉහළ යන පෙට්ට්‍රල් පරිභෝජනය සැලකිල්ලට ගනමින් ව්‍යාපෘතිය යටතේ පළමුවෙන්ම පෙට්ට්‍රල් ටැංකිය ඉඳි කිරීමට තීරණය කළ බවයි. 2009 වර්ෂයෙන් පසුව මෙරට පෙට්ට්‍රල් පරිභෝජනයේ වැඩිවීම සියයට 90කි. වාර්ෂිකව එහි වැඩිවීම සියයට හතක් වේ. රටෙහි ඛනිජ තෙල් සුරක්ෂිතබව රැකීම සඳහා දින තිහකට අවශ්‍ය පෙට්ට්‍රල් සංචිතයක් පවත්වා ගෙන යාමද අත්‍යවශ්‍ය කරුණකි. ඉදිරියේදී එය දින 60ක් දක්වා ඉහළ නැංවීම තමන්ගේ අපේක්ෂාව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

Read more

Local News