රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම වැළැක්වීමට ක්‍රමවේදයක්

Share

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ප්‍රමාදවීම නිසා අධිකරණයේ නඩු විසදීමේ විශාල ප්‍රමාදයක් ඇති බවත් එහෙයින් අපරාධ අධිකරණයන්හි නඩු ප්‍රමාදය වැළැක්වීම සදහා රස පරීක්ෂක වාර්තා නොපමාව අධිකරණයට ලබා දීමේ ක්‍රම වේදයක් සකස් කළ යුතු බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවකට අද (02) පෙරවරුවේ එක්වෙමින් මෙම උපදෙස් ලබා දීම සිදු කළේය.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සදහා නවීණතම උපකරණ හා පරීක්ෂණාගාර ලබා දි ඇති බවත් ජාත්‍යන්තර මට්ටමේ ඉතා උසස් තත්වයක එකී පරීක්ෂණාගාර හා උපකරණ පවත්නා බවත් අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.

එසේ වුව ද දැනට අධිකරණ මගින් රස පරීක්ෂක වාර්තා ඉල්ලා සිටින ප්‍රමාණයේ වැඩි වීමක් පසුගිය දෙවර්ෂය තුළ පෙන්නුම් කරන බව ද විශේෂයෙන් මත් ද්‍රව්‍ය අංශයේ සියයට එක සිය පනහක පමණ වාර්තා ඉල්ලා සිටීමේ වැඩි වීමක් පවතින බව ද නිරීක්ෂණය කිරීමට යෙදුණි.

මෙම ප්‍රමාදය වැළැක්වීම සදහා රස පරීක්ෂක දෙපර්තමේන්තුව වෙත දැනට අනුමත 31 දෙනෙක් පමණ වු අමතර කාර්ය මණ්ඩලය වහාම බදවා ගැනීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දෙන ලදී.

එකි බදවා ගැනීමේ ක්‍රියාවලිය අවසන් වන තෙක් දැනට රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සිය සාමාන්‍ය සේවා මුරයට අමතරව සවස් කාලයේ දී හා සති අන්තයේදී අමතර රාජකාරී කටයුතු ඉටු කොට වාර්තා ලබාදීම කඩිනම් කරන ලෙසත් ඒ සදහා පැහැදිලි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දෙන ලදී.

රස පරීක්ෂක වාර්තා ලබාදීම පිළිබදව දැනට පවතින නීතියේ ඇති අඩු ලුහුඩුකම් පිළිබදව රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කරුණු ඉදිරිපත් කරන ලද අතර එකී කරුණු පිළිබදව නීතිපතිවරයාගේ අවධානය යොමු කරමින් අවශ්‍ය නීතිමය සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදී.

මෙම වර්ෂයේ දෙසැම්බර් මස අවසන් වන විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවක් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන ලෙසත් ඉන් අනතුරුව සෑම මසකම රස පරීක්ෂක වාර්තා  සැපයීමේ නව ප්‍රගතිය පිළිබදව අමාත්‍යාංශයේ ලේකම්වරයා අධික්ෂණය කළ යුතු බවත් අමාත්‍යවරයා දන්වා සිටින ලදී.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් කරනු ලබන පරීක්ෂණ වාර්තා විශ්ව විද්‍යාලයන්හි රසායනාගාර හිදී ද සිදු කිරීමට අවකාශ ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා අවශ්‍ය නම් නීති ප්‍රතිපාදනයන් සංශෝධනය කර හෝ එම ආයතන තුළින් ද මෙකී වාර්තා ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් පිළිබදව සොයා බැලිය යුතු බවත් එමගින් රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම ඉක්මන් කළ හැකි බවත් පෙන්වා දෙන ලදී.

මේ පිළිබදව විශ්ව විද්‍යාල සමග සාකච්ඡා කොට තමා වෙත වාර්තා ලබා දෙන ලෙසත් ලේකම්වරයා දැනුවත් කරන ලදී.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි රජයේ රස පරීක්ෂක ඒ.වැලි අංග යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක් විය.

Read more

Local News