සාම්පූර් දාගැබ පිහිටි ප්‍රදේශය පුරාවිද්‍යා භාරයට – සංරක්ෂණයට ඉදිරියේදී පියවර

Share

පසුගිය දා කිසියම් පිරිසක් විසින් විනාශකර දමන ලද සාම්පූර් සූඩයිකුඩා ප්‍රදේශයේ පිහිටි දාගැබ ඇතුළත් ප්‍රදේශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බාරයට ගෙන සංරක්ෂණයට ඉදිරියේදී පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා පැවසීය.
ත්‍රස්තවාදීන් පරාජය කිරීමෙන් අනතුරුව වසර ගණනාවක් තිස්සේ උතුරු, නැගෙනහිර පුරාවස්තු සංරක්ෂණය කිරීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කර නොතිබු අතර 2015 වසරෙන් පසුව අධ්‍යාපන ආමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත මේ සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කර තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
පසුගියදා කිසියම් පිරිසක් විසින් විනාශ කර තිබු සාම්පූර් දාගැබට අදාල නටඹුන් ද ඉකුත් දා මතුකර ගනු ලැබුවේ එම පුරාවිද්‍යා ගවේෂණය අදාලව වන අතර එය පුරාවිද්‍යා සංරක්ෂණ ස්ථානයක් ලෙස නම් කිරීමට ප්‍රථම කිසියම් කණ්ඩායමක් විසින් මෙම විනාශය කර සිදුකර තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා සඳහන් කරන්නේ අදාල විනාශයට සම්බන්ධ වූවන්ට එරෙහිව පුරාවිද්‍යා අඥාපනතේ විධි විධානයන්ට යටත්ව උපරිම දඬුවම් හිමිවන බවයි.
ඉපැරණි බෞද්ධ උරුමයක් ලෙස හඳුනාගෙන ඇති අදාල දාගැබ පිහිටි ප්‍රදේශය පුරාවස්තු අඥාපනතේ විධිවිධාන අදාලව ඉදිරියේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බාරයට  ගැනිමටත් එම ප්‍රදේශයේ ඉදිරි කැණීම් කටයුතු සහ සංරක්ෂණය කටයුතු සිදුකිරීමටත් බලාපොරොත්තු වන බව අධ්‍යපාන අමාත්‍යවරයා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දෙලක්ෂ පනස් දහසකට ආසන්න මෙරට පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීම උදෙසාත්, ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් විශේෂ අවධානය යොමු කරන ලෙසද පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතාට මෙහිදි අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් අතර  එසේම මේ සම්බන්ධයෙන් ප්‍රායෝගිකව අපහසුතාවයක් මතුවන අවස්ථාවන්හිදී පුද්ගලිකවම හෝ තමා සමඟ සම්බන්ධ වෙමින් අවශ්‍ය කටයුතු යෙදීමට පියවර ගන්නා ලෙසද අධ්‍යාපන අමාත්‍යවරයා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පී.බී.මණ්ඩාවල මහතාට වැඩිදුරටත්  උපදෙස් ලබාදුන්නේය.

Read more

Local News