ප්‍රදේශ කිහිපයක තහනමට ලක්කෙරුණු පොලිතීන් වැටලීම අරඹයි

Share

රජය විසින් ගනු ලැබු තීරණයකට අනුව, 2017 සැප්තැම්බර් 01 දින සිට අතිවිශේෂ ගැසට් නිවේදනයේ ප්‍රකාරව සියළුම ආකාරයේ පොලිතින්, පොලිප්‍රොපලීන් හා ඒවා ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් ආනයනය, නිෂ්පාදනය හා භාවිතය තහනමට ලක්කෙරුණු අතර, සහන කාලයෙන් අනතුරුව එම නිතීය මේ වන විට ක්‍රියාත්මක කෙරේ.
නිතීය නොතකා සිදුකෙරෙන තහනම් පොලිතීන් නිෂ්පාදන ආනයනයන්, නිෂ්පාදනය  ගබඩා කිරීම් හා භාවිතය සම්බන්ධයෙන් අදාළ විමර්ශන හා  වැටලීම් මේ වන විට සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් කටයුතු යොදා ඇති අතර, එහි ප්‍රථම විමර්ශන හා වැටලීම් ඊයේ (03) පිටකොටුව වේල්ල වීදීය, පිපල්ස් පාර්ක් වෙළඳ සංකිර්ණය, අවට ප්‍රදේශ මෙන්ම දෙමටගොඩ ප්‍රදේශයේද වෙළඳසැල් හා නිෂ්පාදන ආයතන කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදි.
අදාළ මිනුම් උපකරණ යොදා ගනිමින් විමර්ශන කණ්ඩායම් විසින් පරික්ෂාවන් සිදුකරන ලද අතර, බොහෝ වෙළඳසැල් තහනම් කරන ලද පොලිතීන් වෙනුවට දිරාපත්වන පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන/ ඇසුරුම් භාවිතා කරන බවට නිරික්ෂණය කළ හැකි විය. වෙළඳසැල් කිහිපයක පමණක් තහනම් කරන ලද පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන හා ඇසුරුම් තවදුරටත් භාවිතා කරමින් සිටින බව තහවුරු වූ අතර, එම නිෂ්පාදනයන් වහාම අත්අඩංගුවට ගැනීමටත්, එම වෙළෙදසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැන්මටත්, මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් කටයුතු කරන ලදී.
දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින් ද නිත්‍යානුකූල නොවන පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදනයන් සිදුකරන බව අනාවරණය වු අතර, එම කර්මාන්ත ශාලා හිමියන්ට එරෙහිව ද නිතීමය පියවර ගැනිමට කටයුතු කරන ලදී.
තහනම් පොලිතීන් නිෂ්පාදන විමර්ශන හා වැටලිම් ගම්පහ, ගනේමුල්ල හා යක්කල  ප්‍රදේශ ද කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරුණු අතර, එම වෙළෙඳසැල්වල තහනම් පොලිතීන් වෙනුවට දිරාපත් වන පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන/ ඇසුරුම් භාවිතා කරන බව අනාවරණය විය. වෙළෙඳසැල් කිහිපයක පමණක්  සැක කටයුතු නිෂ්පාදන හඳුනා ගැණුනු අතර, ඒවා  වැඩිදුර පරීක්ෂණ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ භාරයට ගන්නා ලදි. මෙම මාසය තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි වැටලීම් කටයුතු සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය කටයුතු යොදා ඇත.

Read more

Local News