ඇවන්ගාඩ් සභාපතිට ඇප – විත්තිකරුවන් 5ක් නිදහස්

Share

ගාලු වරාය ආසන්න මුහුදේ නෞකාවක් තුළ නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව ගිනි අවි 813ක් සහ උණ්ඩ 200935ක් සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.

 

ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කරනු ලැබීය.

අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර තිබූ රක්නා ලංකා ආරක්ෂක සමාගම, ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගම, විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, විශ්‍රාමික යුධ හමුදා මේජර් ජනරාල් බී.එගොඩවෙල සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක් වන දමයන්ති ජයරත්න යන අය මෙසේ නිදහස් කිරීමට නියෝග කෙරුණි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි නඩුවේ හත්වන විත්තිකරු වන ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇප මත මුදා හැරීමට ද නියම කළේය.

ඒ අනුව විත්තිකාර සේනාධිපති මහතා රුපියල් ලක්ෂ 5 ක් බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අධිකරණයේ අවසරයකින් තොරව ඔහුට විදේශගත වීම ද තහනම් කළේය.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටද ඇප නියෝගයේ සඳහන් වුණි.

මෙම නඩුව ඉකුත්දා විභාගයට ගත් අවස්ථාවේදී මූලික විරෝධතාවක් මතු කළ විත්තියේ නීතිඥවරු මෙම නඩුවේ පළමුවන හා දෙවන විත්තිකරුවන් ලෙස නීතිය ඉදිරියේ ස්ථාපනය කරන ලද සමාගම් දෙකක් නම් කර ඇති බවත් එලෙස සමාගම් දෙකකට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත් කර පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවටත් තර්ක කර තිබුණි.

ඒ අනුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන මෙම චෝදනා පත්‍රය දෝෂ සහිත සහ නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

එම මූලික විරෝධතාව පිළිබඳව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල සඳහන් කර සිටියේ මෙම නඩුවට පාදක වන තුවක්කු ආඥා පනත හා පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ චෝදනා එල්ල කළ හැක්කේ ස්වාභාවික පුද්ගලයින්ට පමණක් බවයි.

සමාගම් වැනි නෛතික පුද්ගලයින්ට එවැනි චෝදනා එල්ල කිරීමට හැකියාවක් නොමැති බව විනිසුරුවරු සඳහන් කර සිටියේය.

ඒ අනුව මෙම නඩුවෙන් විත්තිකරුවන්ට එල්ල කර තිබෙන චෝදනා 7573 ක් අතුරින් පවත්වාගෙන යා හැක්කේ චෝදනා 19 ක් පමණක් බව පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල සෙසු චෝදනා සියල්ල දෝෂ සහගත සහ නීතිවිරෝධී ආකාරයෙන් ඉදිරිපත් කර තිබෙන බවයි පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින රක්නා ලංකා ආරක්ෂක සමාගම, ඇවන්ගාඩ් සමාගම විශ්‍රාමික යුධ හමුදා මේජර් ජනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු, බී.එගොඩවෙල සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක වන දමයන්ති ජයරත්න යන අය චෝදනා වලින් නිදහස් කිරීමට ද නියම කළේය.

ඒ අනුව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව ඉතිරිවී තිබෙන චෝදනා 19 පිළිබඳ විභාගය පෙබරවාරි මස 10 වනදා පවත්වන බවයි විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

මෙහිදී ‍ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා රජයේ නීතිඥවරයාට පෙන්වා දුන්නේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද? යන්න පිළිබඳව පැමිණිල්ල විසින් සලකා බැලීමට හැකියාව තිබෙන බවයි.

කෙසේ වෙතත් මෙම නඩුවේ විත්තිකරු ලෙස නම් කර සිටින නිශ්ශංක යාපා සේනාධිපති මහතා මාස තුනකට අධික කාලයක් රිමාන්ඩ් බාරයට පත් කර සිටින හෙයින් ඔහු ඇප මත මුදා හරින මෙන් ඔහුගේ නීතිඥවරයා ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ වර්තමානයේ මෙම නඩුවේ තත්ත්වය අනුව එල්ලවී තිබෙන චෝදනා ඇප දිය හැකි වැරදි බැවින් විත්තියේ ඉල්ලීමට විරුද්ධ නොවන බව සඳහන් කළේය.

මෙම විත්තිකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් ඔහුගේ ඇප සම්බන්ධයෙන් පැමිණිල්ල විරුද්ධ වූයේත් අන් සියල්ලටම වඩා නීතිය ඉහලින් සිටිය යුතුය යන සංකල්පයේ සිට බවද ජේෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව විත්තිකාර සේනාධිපති මහතා ඇප මත මුදා හැරීමට ද නියම කෙරුණි.

Read more

Local News