ගතවූ පැය 24 තුළ කොරෝනා මරණ 105ක්

Share

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ගතවූ පැය 24 තුළ මරණ 105ක් අලුතින් වාර්තා වී තිබේ.

 

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 1775 ක් ලෙස වන අතර නව මරණ සියල්ලම තවදුරටත් චීනයෙන්ම වාර්තා වනවා.

ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන අද වනවිට 71,323ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එය ඊයේ(16) දිනයට සාපේක්ෂව ආසාදිතයින් 2048ක වැඩිවීමක්.

ඒ අතරින් චීනයේ හුබෙයි පළාතෙන් පමණක් නව ආසාදිතයින් 1933 දෙනෙකු වාර්තා වන අතර පළාතේ සමස්ත ආසාදිතයින් ගණන 58,182ක් බව චීන මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් ආසාදිතයින් අතරින් පුද්ගලයින් 1,425 දෙනෙකු අලුතින් සුවය ලැබීමත් සමඟ මෙතෙක් සුවය ලැබූ ගණන 10,844 දක්වා ඉහළ යාමත් විශේෂත්වයක්.

ගතවූ පැය 24 තුළ මරණ 105ක් චීනයෙන් අලුතින් වාර්තා වන්නේ සමස්ත මරණ සංඛ්‍යාව 1775 දක්වා ඉහළ නංවමින්.

චීනයට පරිබාහිරව ලොව රටවල් 30 කින් වෛරසයේ ආසාදිතයින් හමුවන අතර එම ගණන 510 සිට 688 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර නිරෝධායන කටයුතු සඳහා ජපානයේ යෝකොහෝමා වරායේ නැංගුරම්ලා තිබෙන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි අමෙරිකානු පුරවැසියන් 400 දෙනෙකු ඉවත් කරගැනීමට අමෙරිකානු රජය අද අලුයම පියවර ගත්තේය.

ඔවුන්ව නැවේ සිට බස්රථ මගින් ටෝකියෝ ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමෙන් අනතුරුව ගුවන් යානා දෙකක් මඟින් අමෙරිකාව වෙත රැගෙන ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් නෞකාවේ සිටියදී වෛරසය ආසාදනය වීමෙන් ජපානයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන තවත් අමෙරිකානු ජාතිකයන් 40 දෙනෙකු තවදුරටත් ජපානයේම රඳවා ප්‍රතිකාර කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මේ වසරේ පළමු කාර්තුව තුළ ගෝලීය ආර්ථික වර්ධනය සියයට දශම එකේ සිට සියයට 3.3ක් දක්වා ඉහළ නැංවෙනු ඇති බවට අනාවැකි පළ කර තිබුණි.

නමුත් වෛරසයේ බලපෑම නිසා එම වර්ධනය සියයට දශම 01ත් දශම දෙකත් අතර ප්‍රමාණයකින් පහළ බැසීමක් විය හැකි බව  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙයි.

කෙසේවෙතත් බලපෑම තක්සේරු කිරීමට කල් වැඩි බව පෙන්වා දෙන එම අරමුදල දැනටමත් සංචාරක හා ප්‍රවාහන ක්ෂේත්‍රයන්ට එහි බලපෑම එල්ල වී ඇති බව පිළිගෙන තිබේ.

2002 වසරේ සාර්ස් වසංගතය පැතිර යන විට චීනය ගෝලීය ආර්ථිකයෙන් 8%කට  හිමිකම් කියූ අතර 2019 වසර අවසාන වනවිට එය සියයට 19ක් දක්වා වර්ධනය වී තිබුණි.

Read more

Local News