දුම්රිය ප්‍රමාදවීම් ගැන ඇමති මහින්ද වාර්තාවක් ඉල්ලයි

Share

විදේශීය සංචාරකයින් පිරිසක් රැගත් ගල් අගුරු දුම්රිය කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වීමේ දී සිදුවූ කිසියම් කාරණයක් හේතුවෙන් එහි ගමන් ගත් සංචාරකයින් අපහසුතාවට පත් වී ඇති බවට සිදු වු වාර්තා සම්බන්ධයෙන් ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගෙන් අද (19) කරුණු විමසා ඇත.

 

ඒ අනුව මෙම සිද්ධියේ දී ගල් අගුරු දුම්රියෙන් ගත් සංචාරකයින් පිරිස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය නොගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී ඇති බව හෙළි වී තිබේ.

එම කරුණු නම් වටවල දුම්රිය ස්ථානයේ නැවැත්වීමට අනුමැතිය ලබා නොගෙන එම දුම්රිය ස්ථානයේ සීමාව ඉක්මවා ගොස් (සංඥා කුළුණ ද ඉක්මවා යමින්) නැවැත්වීම, ඡායාරූප ගැනීම සඳහා අනුමැතිය ලබා නොගෙන (ඒ සඳහා වෙනමම ගෙවීමක් දුම්රිය දෙපාර්තමේන්තුවට කළ යුතුය) වටවල හා දෙමෝදර දී දුම්රිය නවත්වා ඡායාරූප ගැනීමට යාම, ගල් අගුරු දුම්රියේ එන්ජිම ගලවා ඉදිරියෙන් ගමන් කළ ඩීසල් දුම්රිය එන්ජිමක් යොදවාගෙන මෙම ගල් අගුරු දුම්රිය පසුපසට තල්ලු කිරීමට කටයුතු කිරීම, එමගින් වෙනත් දුම්රියක ගැටීමට පවා ගොස් තිබීම වැනි විනය විරෝධී කරුණු ගණනාවක් සිදුවී තිබේ.

එමෙන්ම මෙම කාරණා සම්බන්ධව එම අවස්ථාවේ ම නිලධාරින් යොදවා විමර්ශණය කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවු බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දෙන ලදී.

කෙසේ වුවද, එම ගල් අගුරු දුම්රියේ ගමන් ගත් සංචාරකයින් අපහසුතාවට පත් වුයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවයක් නිසා නොව එහි ගමන් කළ සංචාරකයින් විසින් සිදු කළ විනය විරෝධී හා අනුමත කර නොගත් ක්‍රියාකාරකම් නිසා බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම මෑත කාලය තුළ දුම්රිය ප්‍රමාදවීම් ගණනාවක් වාර්තා වන බව කී අමාත්‍යවරයා ඊට හේතු කුමක්දැයි සොයා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස ද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට දැනුම් දුන්නේය.

Read more

Local News