ඇවන්ගාඩ් නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප වෙයි

Share

රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුව ප්‍රතික්ෂේප කරන ලෙස ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.

 

කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

ඒ අනුව අදාළ නඩුව ජූනි මස 4 වනදා සිට යළි විභාගයට ගන්නා බවයි විනිසුරුවරිය නියෝග කළේ.

මෙම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තුන්දෙනා විසින් ලබාදුන් ලිඛිත අනුමැතිය මෙම නඩුව ගොනු කිරීමේදී අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් එය පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මීට පෙර මූලික විරෝධතා මතු කර තිබුණි.

මේ හේතුවෙන් අදාල නඩුව නිෂ්ප්‍රභා කොට තම සේවාදායකයින් නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එහෙත් එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ විනිසුරුවරිය එම නඩුව අල්ලස් පනතේ එකොළොස් වන වගන්තිය යටතේ ගොනු කර ඇති හෙයින් ඊට අභියෝග කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බව සඳහන් කළේය.

ඒ අනුව විත්තිය විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බවයි විනිසුරුවරිය සඳහන් කළේ.

ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355ක අල්ලසක් දුන් බවට චෝදනා කරමින් මෙම නඩුව තුළින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට චෝදනා එල්ල කර තිබේ.

එම ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීම තුළින් විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ද වරදක් සිදු කර ඇතැයි මෙම නඩුවෙන් තවත් චෝදනාවක් එල්ල කර ඇත.

Read more

Local News