කාර්යක්ෂම දුම්රිය සේවාවක් ස්ථාපනයට ජනපති අවධානය

Share

දුම්රිය සේවාවේ අඩු පාඩු හඳුනාගනිමින් කාර්යක්ෂම සහ මහජනතාවට සමීප සේවයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේගේ අවධානය යොමුව ඇත.

 

දුම්රිය ප්‍රමාදය පිටු දැකීම, මැදිරි පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු අවශ්‍යතා සපුරාලමින් සේවාව විධිමත් කිරීමට අවශ්‍ය සැලසුම් සහ තීරණ ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

දුම්රිය සේවාවේ වර්ධනයට අවශ්‍ය පියවර සාකච්ඡා කිරීමට ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා විසින් මේ උපදෙස් ලබා දී ඇත.

දෛනිකව දුම්රිය සේවාව භාවිත කරන මගී සංඛ්‍යාව තුන්ලක්ෂ අසූ පන්දහසක් පමණ වන අතර මෙම පිරිසට මෙන්ම තවත් වැඩි සංඛ්‍යාවකට දුම්රිය සේවාව ලබාදීමෙන් මාර්ග තද බදයට ප්‍රමාණවත් විසඳුමක් දිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ගැටලු විසඳීමේ දී සහ නව සැලසුම් ක්‍රියාත්මක කිරිමේ දී වෘත්තිය සමිතිවල දායකත්වය, යෝජනා සහ අදහස් ලබා ගැනීමට ද ජනපති උපදෙස් දී තිබේ.

මහජන අවශ්‍යතාව මත දෛනික කාල සටහන් නිර්මාණය කළ යුතු බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ වත්මන් ශ්‍රම බලකායේ ශක්‍යතා හඳුනාගනිමින් ඔවුන්ගේ කුසලතා වර්ධනය කර එමඟින් වඩා ඵලදායී සේවාවක් සැපයීම කෙරෙහිත් ජනාධිපතිවරයා නිලධාරින්ගේ අවධානය යොමු කර ඇත.

Read more

Local News