උතුරු කොරියාවෙන් ජපානය දෙසට මිසයිලයක්!

63

කොරියාවේ වේලාවෙන් අඟහරුවාදා (අගෝස්තු 29) අළුයම එල්ල කරන ලද එම මිසයිලය හොකයිඩෝ දූපතට ඉහළින් ඇදී ගොස් මුහුදට පතිත විය. උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් විදීම සිය රටට එල්ල වූ “පෙර නොවූ විරූ” තර්ජනයක් බව ජපාන අගමැති ෂෙන් සෝ අබේ පවසයි.

මීට ප්‍ර‍තිචාර දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවා ඇත.

උතුරු කොරියාව මෑතක සිට මිසයිල අත්හදා බැලීම් ගණනාවක් ක්‍රියාත්මක කළ ද බැලිස්ටික් අවියක් යැයි සැළකිය හැකිවූවක් ජපානයට ඉහළින් විදින ලද පළමු අවස්ථාව මෙය වේ.

මීට පෙර දෙවතාවකදී එනම්, 1998 සහ 2009 දී ජපානය හරහා ඇදී යන ලෙස රොකට් විදිනු ලැබූ උතුරු කොරියාව එවර පැවසුවේ, එම රොකට්ටු චන්ද්‍රිකා සදහා භාවිත කරන ලද ඒවා විනා අවි නොවන බවය.

ටෝකියෝ නගරයේ සිටින බීබීසීහි රූපට් වින්ෆීල්ඩ්-හේස් පැවසුවේ උතුරු කොරියාව අද විදින ලද මිසයිලය න්‍යෂ්ටික යුද ශීර්ෂයක් ගෙන යා හැකි තරමට බලසම්පන්න විය හැකි බවය.

උතුරු කොරියාවේ වේලාවෙන් උදෑසන 6ට පෙර නැගෙනහිර දෙසට එල්ල කරන ලද මිසයිලය විදිනු ලැබ ඇත්තේ ප්යොංයෑං අගනුවරට ආසන්න තැනක සිට බව දකුණු කොරියානු හමුදාව පැවසීය.

මිසයිලය පිළිබද කෙරුණු විශ්ලේෂණයක් :

  • කිලෝමීටර් 2700 (සැතපුම් 1678) ට වඩා දුරක් පියාසර කර ඇත.
  • අලුතින්ම නිපැයූ මැදි දුර අවියක් වන හ්වාසොං – 12 විය හැකියැයි සැලකේ.
  • කි.මී. 550 (සැතපුම් 342) ක උපරිම උසකින් පියාසර කළ ද එය උතුරු කොරියාව මීට පෙර කළ බොහෝ අත්හදා බැලීම් වලට වඩා පහළ මට්ටමකින් ඇදී යාමකි.
  • කොටස් තුනකට වෙන් වීමෙන් පසු ජපාන වෙරළේ සිට කි.මී. 1180ක් දුරින් උතුරු ශාන්තිකර සාගරයට පතිත විය.

මිසයිලය බිම හෙලීම සඳහා ජපානය උත්සාහ නොදැරුව ද ආරක්ෂාව පිළිබද අනතුරු ඇඟවීම් නිකුත් කරමින් හොකයිඩෝ දූපත්වාසීන්ට කියා සිටියේ “ශක්තිමත් ගොඩනැගිල්ලක හෝ භූගත මහලක” ආවරණය සලසා ගන්නා ලෙසය.

ඇමරිකානු සහ ජපාන හමුදා දැනට හොකයිඩෝහි යුද අභ්‍යාසවල යෙදී සිටිති.

මතු වූ තත්ත්වයට ප්‍ර‍තිචාර දක්වන ලෙස දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ – ඉන් නියෝග කළේය.

එරට ජෙට් යානා 4ක් ජීව බෝම්බ හෙලීමේ අභ්‍යාසයක අඟහරුවාදා (අගෝස්තු 29) යෙදිණි.

මේ අතර ජපාන අගමැති ෂින් සෝ අබේ පැවසුවේ තමන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් ඇමතූ අතර උතුරු කොරියාවට එල්ල කරන පීඩනය උත්සන්න කිරීමට දෙපාර්ශවය ම එකග වූ බවය. “උතුරු කොරියාවේ නොහික්මුණු ක්‍රියාව අපගේ ජාතියට එල්ල වූ පෙර නොවූ විරූ, බරපතල සහ අතිශය තර්ජනාත්මක ක්‍රියාවක්” බව ජපාන අගමැතිවරයා පැවසීය.