බුවනෙක නාවික හමුදා කඳවුරේ සහ ඔලුවිල් වරාය පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත ‌කෙරේ

Share

නව කෙරෝනා වෛරසය තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළට උරදෙමින් ශ්‍රී නාවික හමුදාව මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ සහ ඔලුවිල් වරාය පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කර ඇත.

 

ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ ඊයේ (28) දිනයේ මෙම කටයුතු සිදු කළ බවයි.

නව කෙරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ගොඩනැගිලි හතරක් නිරෝධායන කටයුතු සඳහා මෙසේ සූදානම් කර තිබේ.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුල පුද්ගලයින් 64 දෙනෙකු හට නිරෝධායන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දී ඇත.

එසේම ඔලුවිල් වරාය පරිශ්‍රයේ ද වරාය අධිකාරිය සතු ගොඩනැගිලි දෙකක් ප්‍රථිසංස්කරණය කර පුද්ගලයින් 80 දෙනෙකු සඳහා නිරෝධායන පහසුකම් ලබා දිය හැකි වන පරිදි සකස් කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණෙන පුද්ගලයින් හට අවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, අත්තර්ජාල පහසුකම්, රූපවාහිනී,  විදුලි පංකා, ආදී සියළු පහසුකම්  ලබා දීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර තිබේ.

නාවික හමුදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ නාවික හමුදා සූපවේදීන් විසින් පිසින ලද පෝෂ්‍යදායි ආහාර නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නන් හට ලබා දීමටද අවශ්‍ය සියළු කටයුතු සූදානම් කර ඇත.

Read more

Local News