ජනවාරි මාසයේ පළමු දින 17 තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,982 ක්

Share

ජනවාරි මාසයේ පළමු දින 17 තුළ පමණක් රට තුළ ඩෙංගු රෝගීන් 2,982 ක් පමණ වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ කොළඹ, ගම්පහ, කළුතර, නුවර, යාපනය, මඩකලපුව, කුරුණෑගල, පුත්තලම, කල්මුණේ, රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක දැනට ඩෙංගු රෝගය ව්‍යාප්ත වන අවදානම් ප්‍රදේශ ලෙස හඳුනා ගෙන තිබෙන බවයි.

නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන වැනි ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවීමට අවධානමක් ඇති හෙයින්, අවම වශයෙන් සතියකට විනාඩි 30 ක් මේ පිළිබදව විපරම් කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාව වෙත අවධාරණය කරයි.

ඕනෑම අයෙකුට තද උණ සමග හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු පැහැ ලප හට ගැනීම හා රුධිර වහන තත්ව ඇත්නම් වහාම රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබා ගන්නා මෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය උපදෙස් දෙයි.

Read more

Local News