ප්‍රසන්නට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මසට කල්යයි

Share

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (07) නියම කළේය.

 

2015 වසරේ කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරුබිමක් ගොඩකර එහි රැඳී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට අදාල කටයුතු ඉටු කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 63ක මුදලක් ලබාගැනීමට කුමන්ත්‍රණය කළ බවට අමාත්‍යවරයා ඇතුළු පිරිසට චෝදනා එල්ල කර ඇත.

මෙම නඩුව අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී බස්නාහිර පළාත් සභාවේ ලේකම්වරිය ලෙස කටයුතු කරන චිත්‍රා ජයන්ති සහ කොලොන්නාව නගර සභාවේ හිටපු සභාපති රවීන්ද්‍ර උදේශාන්ත යන මහත්ම මහත්මීන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය.

ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 03 වන දා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.

2015 වසරේ අප්‍රේල් මස 6 වනදා සහ එම වසරේ ජුනි මස 02 වන දා අතර කාලසීමාව තුළ කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩකිරීමට අවශ්‍යය කටයුතු ඉටු කර දීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එවක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට, ඔහුගේ බිරිඳට සහ ඇයගේ ඥාති සොහොයුරෙකු වූ නරේෂ් ෆාරික් යන අයට එරෙහිව ඉකුත් රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශයකට පළා ගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ.

Read more

Local News