නිරෝධායනය අවසන් කළ 720ක් නිවෙස් වෙත

Share

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ, වන්නි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිය නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 165 දෙනෙකු අද (29) උදෑසන ඉන් පිට ව ගිය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

 

මේ අතර යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 555ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත් ව යෑමට නියමිතව තිබේ.

නිරෝධායන කාලසීමාව අවසන් වීම හේතුවෙන් ඔවුන් නිවෙස් වෙත පිටත් කර හරින බව කොවිඩ් නයින්ටීන් පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 118 දෙනෙකු, පූරවාසකුලම් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 193 දෙනෙකු, කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 176 දෙනෙකු සහ පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 68 දෙනෙකු මෙලෙස නිවෙසන් වෙත පිටත් කරන බව එම මධ්‍යස්ථානය පැවසුවේය.

ඒ අනුව මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 27,494 දෙනෙකු නිරෝධායන කටයුතු නිමාවෙන් පසු සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.

තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 40ක පුද්ගලයින් 3,102 දෙනෙකු නිරෝධායනය වෙමින් පවතින බව කොවිඩ් නයින්ටීන් පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර, විදෙස්ගතව සිටි පුද්ගලයින් 31 දෙනෙක් අද උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ලන්ඩන් සිට පුද්ගලයින් තිදෙනෙක් සහ දෝහා සිට පුද්ගලයින් 29 දෙනෙක් මෙලෙස දිවයිනට පැමිණි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එසේ පැමිණි පුද්ගලයින් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සුදානම් කර ඇත.

මේ අතර ඊයේ දිනය තුළ ආසාදිතයින් පස් දෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2810ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම පුද්ගලයින් පස්දෙනා අතරින් එක් පුද්ගලයෙකු සේනපුර මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකි.

ඒ අනුව අද වන විට කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 598ක් වේ.

ඊයේ (28) දිනය තුළ පීසීආර් පරීක්ෂණ 1510ක් සිදුකර ඇති අතර, මේ වන විට ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 154,191කි.

Read more

Local News