ප්‍රමිතියෙන් ඉහළ ශ්‍රී ලංකා ගම්මිරිස් පමණක් අපනයනය කිරීමට පියවර ගන්නවා – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Share

අමාත්‍යාංශයේ පැවති කුළුබඩු හා ඒ ආශ්‍රිත නිශ්පාදකයන්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ පැවති සාකච්ඡාවක දී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ ප්‍රමිතියෙන් ඉහළ ශ්‍රී ලංකා ගම්මිරිස් පමණක් අපනයනය කිරීමට පියවර ගන්නා බවයි.

ගම්මිරිස් ප්‍රධාන අපනයන භෝගයක් වන බවත්, එහි අපනයන නිෂ්කාශන කටයුතු සඳහා සතියක් දෙකක් පමණ ගතවන බැවින්, එය අපනයනකරුවන්ට විශාල ගැටලුවක්ව තිබෙන බවත්, එම නිසා ගම්මිරිස් අපනයන නිෂ්කාශන ක්‍රියාවලිය පැය 48 කට පෙර සිදුකිරීම සඳහා පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පවසයි.

ශ්‍රි ලංකාව කුළුබඩු අපනයනයේ ප්‍රමුඛ ස්ථානයක් ගනී. විශේෂයෙන්ම ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, කරඳමුංගු, සාදික්කා යන කුළුබඩු වර්ග අපගේ ප්‍රධාන අපනයනයන් වේ.

අපේ රටේ කුළුබඩු අතර ගම්මිරිස් හා කුරුඳු අපනයනය ඉහළ මට්ටමක පවතිනවා. 2016 වසරේදී අප කුරුඳු අපනයනයෙන් ඩොලර් මිලියන 159 ක් හෙවත් රුපියල් මිලියන 23,850 ක් විදේශ විනිමය උපයලා තියෙනවා. ඒ වගේම ගම්මිරිස් අපනයනයෙන් ඩොලර් මිලියන 72 ක් හෙවත් රුපියල් මිලියන 10,800 ක් අපි උපයලා තියෙනවා. වර්ෂ 2015 දී වාර්ෂික ගම්මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 18,660 ක් වූ අතර එය 2017 දී මෙට්‍රික් ටොන් 25,995 ක් දක්වා වර්ධනය වී තියෙනවා. මේ නිසා අපගේ ගම්මිරිස් අස්වැන්නට හොඳ අපනයන අවස්ථාවක් උදා කර ගන්න හැකි වී තියෙනවා. ගම්මිරිස් අපේ රටේ පරිභෝජනය 2016 දී මෙට්‍රික් ටොන් 5800 – 6000 ත් අතර පවතිනවා. අපි වැඩිම ගම්මිරිස් ප්‍රමාණයක් අපනයනය කරන්නේ ඉන්දියාවටයි.

ඒ පිළිබඳව අපි ඉන්දියානු රජයට ස්තූතිවන්ත වෙන්න ඕන. අපේ මුළු අපනයන ප්‍රමාණයෙන් සියයට 60 ක්ම ගම්මිරිස් ගන්නේ ඉන්දියාවයි.

ඒ වගේම පිටරටින් මෙරටට ගම්මිරිස් ගෙන්වා ප්‍රති අපනයනය කිරිම සිදුවන්නේ නම් එය වැළක්වීටත් මම පියවර ගන්නවා. අපේ පාරිභෝගික විමර්ෂණ නිලධාරීන්ට ඒ කටයුත්ත කරන්න පුලුවන්. ඒ වගේම කුළුබඩු ඇතුළු අපගේ නිෂ්පාදන අපනයනය ඉහළ නැංවීම සඳහා මගේ අමාත්‍යාංශය යටතේ වාණිජ දෙපාර්තමේන්තුව මේ වන විටත් පියවර ගෙන තියෙනවා. ඒ වගේම ඔබ අපගෙන් ඉල්ලා සිටිය පරිදි සියලු ගම්මිරිස් අපනයනකරුවන්ගේ අපනයන අවසරපත් වාණිජ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර, එම ආයතන අපනයනය කරන ගම්මිරිස් ගුණාත්මක බවින් යුක්ත බවට සහතිකයක් ලබා දී අපනයනය කරන්නට පුළුවන් වෙනවා.” යැයි පැවසීය.

Read more

Local News