ජනපති සහ අගමැති මහ නායක හිමිවරු බැහැ දැක ආශිර්වාද ලබා ගනී

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඊයේ (12) දිවුරුම් දුන් නව අමාත්‍යවරු ත්‍රෛනිකායික මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.

 

රජයක අමාත්‍ය මණ්ඩලයක් පත්ව රාජ්‍ය නායකයා සමග ත්‍රෛනිකායික මහා සංඝරත්නය එදිනම බැහැදුටු ප්‍රථම අවස්ථාව ලෙස මෙය දේශපාලන ඉතිහාසයට එක් වේ.

ඊයේ පස්වරුවේ මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල, අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම, ලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමිවරු ඇතුළු කාරක සංඝ සභාවේ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනය කර ආශිර්වාද පළ කළහ.

මෙවර මහ මැතිවරණයෙන් ජනාධිපතිවරයා ප්‍රධාන රජයට ස්වාධීනව ඉදිරියට යාමට හැකි බලයක් ජනතාව දී ඇතැයි සඳහන් කළ නියංගොඩ විජිතසිරි අනු නායක හිමියෝ එය මනාව හඳුනාගනිමින් අභියෝග ජය ගැනීමට ආශිර්වාද කළහ.

අනතුරුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන, අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි, අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද නා හිමිවරු බැහැ දුටුහ.

Read more

Local News