පොලිස් නිලධාරීන්ට උසස්වීම් ක්‍රමවේදයක් – අමාත්‍ය සාගල රත්නායක

Share

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසන්නේ පොලිස් කොස්තාපල් හා පොලිස් සැරයන් තනතුරු දරන නිලධාරින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයසට එළඹ, විශ්‍රාම ගැන්වීමේ දී ඊළඟ තනතුරට උසස්වීම් ලබා දී උසස්වීම ලබන තනතුරට හිමි විශ්‍රාම වැටුප් හා ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්‍රමවේදය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති බවයි.

මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දීර්ඝ කාලයක් එකම තනතුරේ සිටින උසස් වීම් නොලද පොලිස් කොස්තාපල් හා පොලිස් සැරයන් තනතුරු වල සිටින නිලධාරීන් සම්බන්ධයෙන් සහනයක් සැලසීම සඳහා වූ සිය යෝජනාවට අදාළ නිරීක්ෂණ කෙරෙහි අවධානය යොමු කළ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම යෝජනාව අනුමත කර ඇති බවයි.

මේ උසස්වීම් ක්‍රමවේදය අදාළ වෙන්නේ පොලිස් කොස්තාපල් (රියදුරු), පොලිස් සැරයන් (රියදුරු), පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල්, පොලිස් සැරයන්, කාන්තා පොලිස් සැරයන් තනතුරේ නිලධරයන්ට
පමණයි. ඔවුන් අදාල තනතුරේ සක්‍රී සේවා කාලය වසර 15 ක් හෝ ඊට වඩා වැඩිවිය යුතුයි.

මෙහිදී අපි සලකා බලන තවත් කාරණා කීපයක්ම තියෙනවා. තම සේවා කාලය තුළ සේවය අතහැර යාමේ නියෝග 03 ක් හෝ ඊට වඩා වැඩි ගණනක් ලබා ඇති නිලධාරීන්ට මෙම අවස්ථාව ලබා නොදිය යුතුය, මෙම ප්‍රතිලාභය කොමිෂන් සභාව විසින් අනුමත කළ දිනෙන් පසු පමණක් බලාත්මක විය යුතුය. මිට පෙර විශ්‍රාම ගිය අයට නම් අදාළ වෙන්නේ නෑ,අදාළ නිලධාරියා විසින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයසට එළඹිමට මාස 06 කට කලින් මේ විශේෂ උසස්වීම සඳහා අයදුම් කළ යුතු වෙනවා වගේම පොලිස්පති විසින් අදාල සියලු අවශ්‍යතා සම්පුර්ණ කර අමාත්‍යාංශ ලේකම් මගින් මාස 03 කට පෙර ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතු යැයිද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News